Saturday, December 26, 2015

විඳින්නට ජීවිතය.. විඳවන්න නොවෙයි එය

ඇයට සිටියේ එක් සොහොයුරෙක් පමණයි. ඔහු විදෙස්ගතවූයේ පසුගිය වසරේ. ඒ රැකියාවක් සඳහා. ඇගේ මව හා පියා පමණයි නිවසේ රැඳී උන්නේ. පියා අසනීප ගතියෙන්. එනිසා ඇයට වසර අවසානයේ නිවසට පැමිණෙන්නට සිදුවූවා. ඇය සිටියේ තම පැරණි ඇඳුම් සහ පොත්පත් සහිත අල්මාරිය අස්පස් කරමින්. තවමත් ඒවා එලෙසමයි. ඇය තබා ගිය ලෙසින්ම. පසුගිය වසරේත් ඇය පැමිණ එය පිරිසිදු කර ගොස් තිබුණා.

එක් පෙදෙසක් පුරා තිබූයේ ඇයගේ පාසැල් ඇඳුම්. කුණු ලේ පැහැති පසුබිමේ කහ පැහැයෙන් ඉරි දෙකක්. ඊට පහළින් වූයේ පාසල් ලාංඡනය. ඒ ඇය සාමාන්‍ය පෙළ හැදෑරූ පාසල. ඇගේ මතකය දිවගියා. ඒ අතීතයට.

එවකට ඇය ඇගේ පාසලේ අවසන් වසර ගතකරමින් සිටියේ. ඒ කුඩා පාසලේ දක්ෂතම සිසුවිය ඇය. සෑම වාර විභාගයකින්ම පංතියේ පළමුවෙනියා. ගණිතය විෂය සඳහා අමතර පංති යෑමට පටන්ගත්තේ ඒ වසර ආරම්භයත් සමගයි. මාස කිහිපයක්ම ඇය සහභාගි වූවා එයට.

"නංගි, අද බස් එක නැත්ද?"

ඒ ආරම්භය.

"තවම නැහැ"

පොත් බෑගය උරෙහි දරාගෙන පාසල් නිළ ඇඳුමින්ම සවස පංතියට සහභාගි වී සිටි ඇය ඒ සංවාදය සිදුවෙත්දී සිටියේ බස් නැවතුම්පළක.

"මේ පාරද ඕ ලෙවල්?"
"ඔව්"
"කොහොමද ක්ලාස් එක? දික්වැල්ල සර් හොඳයි නේද මැත්ස් වලට"
"ඔව්, හොඳයි"

ඇය ඔහුව දැන සිටියා. යන්තමින්. යන එන මග දැක හුරු පුරුදු බවින්. අවසානය එය වූයේ නැහැ. තවත් දින කිහිපයකදීම ඇයට ඔහුව මුණගැසුණා. ටිකෙන් ටික දිනෙන් දින ඒ දැන හඳුනුම්කම වර්ධනය වූවා. දිනෙක ඇයට හමුවූයේ ඇගේම පොතක් තුළ පෙම්පතක්. නුහුරු ගැස්මකින් ඇගේ හද ගැහුණා. තවත් මාස කිහිපයක් ගතවෙත්දී ඔවුන් හමුවූවා, කිසිවෙක් නැති තැන. ඇයට ඇවැසි වූයේ ඔහුගේ පපුවෙහි උනුසුමට තුරුළු වන්නට. ඔහුගේ අත් දිවගියා ඇගේ දෑත් දිගේ, නැවතුනේ නැහැ. කරගැට ඇවිත් තිබුණු ඒ අත් වලින් ඇගේ ළැම මත ඇතිකළේ රිදුමක්. සමනල් විය දැනසිටියේ නැහැ ලෝකය ගැන. ඇයට ඔහුව හමුවූයේ දෙතුන් වතාවක් පමණයි ඉන්පසු. ඔහු කොහේදැයි ඇය දැනසිටියේ නැහැ. සෙව්වේත් නැහැ ඇය.

"අම්මී.."

ඇය ඒ ලෝකයෙන් මිදුනා. ඇගේ දයාබර පුතු. පිටුපසින් ඇයට ලෝකයක් තරම් ආදරය කරන ඇගේ ආදරණීය පෙම්බරා. ඇය අද ලෝකය දිනූ විධායක නිළධාරිනියක්.

Friday, December 18, 2015

නීල නිලඹර [21 කොටස]

නේතක, හිමෙදිරියේම උඩුනුවර වලව්වෙන් පිටත්ව ගියා. හිරු නැගෙන්නටත් පෙරාතුවම. තමා යොදාගත් ගමන අවලංගු කරන්නට හැකියාවක් වූයේ නැහැ ඔහුට. එසේ නොවූවානම් ඔහු මේ වනවිට තම ඇවැස්ස නෑණන්ඩිය අපේක්ෂාවෙන් උඩුනුර මහ වලව්වේ ගේට්ටු පියන් අතර දෑස් දුවවමින් හිඳින්නට තිබුණා. ඇය පැමිණෙන බව ඔහු දැනගත්තේ අවසාන මොහොතත් මගහැරුණු පසුවයි. විදෙස්ගත වන්නට සියල්ල ඔහු විසින්ම සූදානම් කර අවසන් ඒ වනවිටත්. එය පවසන්නට එතරම් පමා වූ තම සොයුරාට සිතෙන් දොස් පවරමින් ඔහු පිටත්වූවා. පැමිණෙන බව ඇසූ සැණින්ම ඇය දකින්නට ඔහුගේ සිතේ ඇතිවූයේ බොළඳ අශාවක්. සිතෙහිම සිරකරගන්නට සිදුවූවා ආඩම්බරකාරයාට එය.
විහඟිනීලා රැගත් රිය උඩුනුවර මහ වළව්වට සේන්දුවනවිට හිරු අහසේ හරි අඩක්ම පසුකර අවසන්. විහඟිනී වලව්ව තුළට ඇතුළු වූයේ වෙහෙසකර ගතින්. උදෑසන පටන් වූ පැය කිහිපයක ගමන ඇයව වෙහෙසවා තිබුණා. විගසින්ම ඇය අසුන්ගෙන වතුර වීදුරුවක්ම හිස්කළේ ඒ වෙහෙසකර බව නිසාමයි. ඇය සඳහා සකසා තිබූ කාමරයේ ඇඳට වී ඇය අඩහෝරාවක් පමණ ගතකළා. වලව්වේ නාන කාමරයෙන් දිය නා ගැනීමට අකමැති වූ ඇය සෝමාත් සමග ගියේ විසල් වලව් වත්තේ කෙළවරක වූ නොඉඳුල් දිය උල්පත වෙත. පිරිසුදු වතුර උල්පතක් වූ එය වටා පොකුණක ආකාරයෙන් තනා තිබුණේ වලව්වේ වැඩ කරන පියදාස විසින්. නෑම සඳහා කුඩා පිහිල්ලක් මාර්ගයෙන් ජලය පහළට ගෙන තිබුණා. ඇය දිගු වේලාවක් ගතකළා, පිහිල්ල යටට වී පිරිසිදු දිය දහරාව සමගින්.

"සෝමාවතී.. සෝමාවතී අක්කේ...."
"පියදාස මලයො?"
"චූටි මැණිකෙත් එක්ක ආවනම් හොඳා දැන්. ඉරත් බැහැගෙන යනව"

විහඟිනී හිස ඉවතට ගත්තේ ඒ හඬින්.

"දැන් යමු චූටි මැණිකෙ"

ගෙනැවිත් තිබූ සුදු පැහැ මල් ඉහිරුණු ගවොමින් සැරසුණු ඇගේ ගතට නැවුම් බවක් දැණුනා. දිය පහර විසින් ඇගේ ගතත් සිතත් සුවපත්කර තිබුණා.

ඇසළවත් නේතකවත් මේ වනතෙක්ම පෙනෙන්නට වූයේ නැහැ. ඇසළ නම් අමතර පංතියකට සහභාගි වන බව ඔහු උදෑසනම විහඟිනීගේ දුරකථනයට යොමුකළ කෙටි පණිවිඩයේ සඳහන් වූවා. නමුත් ආඩම්බරකාරයා...? වැඩිහිටියනගේ කතාබහට කන් නොදුන් නිසා ඇයට ඔහු කොහිදැයි දැනගත නොහැකි වූවා.ඇය සිටියේ මිදුලේ වතුසුද්ද ගහ යට. පහන තියන්නට සිතා වතුසුද්ද මල් කඩමින්.

"ආ මැට්ටි, ආවද?"
"ඇසළ මැට්ටා. දැන්ද එන්නෙ ආ.? කොහෙද රස්තියදු ගහන්න ගියේ"
"අම්මෝ... ක්ලාස් ක්ලාස් ක්ලස්... මහන්සි"

ඇසළ ගෙතුළට ගියා. ඔහුගේ සිතේ තිබුණා ඇයත් සමග කතාකරන්නට යමක්. විහඟිනී සිටියේත් ඔහුගෙන් එය දැනගන්නට අවස්ථාවක් සොයමින්.

"ඇසළ, කෝ අයියා?"

රාත්‍රී පුවත් බලමින් සිටියදී විහඟිනී එසේ ඇසළගෙන් විමසුවේ ඇයගේ සිතේ වූ ගැටළුව.

"අයියා ගියා විහඟි"
"ගියා? කොහෙද?"

ඇය මුහුණ ඔහු දෙසට හැරෙව්වා.

"ආයිත් රට ගියා. පොරට මෙහේ ඉන්න බැහැලු"
 "ඒ මොකද ඒ"

විහඟිනී නැවතත් රූපවාහිනී තිරය දෙසට දෑස් යොමුකරමින් ඇසුවා.

"ගර්ල් ෆ්‍රෙන්ඩ් එහේ වෙන්නති'

ඇසළ කියවන්නේ කිසිවක් ගනන් නොගන්නා අයුරින්.

"නෑ... ඔයාට කිව්වද අයියා"
"නෑ නෑ. මේ, ඔයා එහෙම ඕක කාටවත් කියන්න යන්න එපා"
"ඒක නෙමෙයි ඇසළ, මොකක්ද අර කතාව?"

ස්ටූලය මත තිබූ කකුල් දෙක පුටුව මතටම ගනිමින් ඇසළ විහඟිනී දෙසට හැරුණා.

"පොඩි පුතා. දානව කකුල් දෙක පහළට"

ඇසළගේ පියා.

"මොකක්ද දෙන්නගෙ කතාව?"
"අප්පච්චි මං මේ නංගිට කියන්න හැදුවේ අර පහළ පොකුණ ගැන"
"ම්...... ඒකද මේ දෙන්නගෙ කතාව"

ඔහු  එතැනින් ඉවත්වූවා. ඇසළ සිය හිස පුටුවේ කුෂන් කවරයේ ඔහේ වදින්නට හැරියේ සිතේ තැතිගැන්ම යන්තමින් පහවී යත්දීයි.

 රාත්‍රී ආහාරය අතරේ සතුටු සාමීචියත් සමගින් අවසන් වූවා දිනයේ ඉතුරු හෝරාවත්. සියල්ලෝම සැහැල්ලු සිතින් නින්දට ගියත් ඇසළගේ සිතේ පෙර වූ ගැටළුව පෙර දින කිහිපයේදී මෙන්ම ඔහුගේ නින්දට බධා කළා. විහඟිනීගේ සැහැල්ලු සිතට බරක් වූයේත් ඇය නොදත් එයමයි.

ඇය සිටියේ නින්දත් නොනින්දත් අතරේ. ගතේ විඩාව ඇයව නිදි දෙව්දුව වෙත ගෙනයන්නට තැතනුවත් තවත් කුමක්දෝ හේතුවක් ඇයව අවදියෙන් තබන්නට උත්සාහ දරමින් උන්නා..කණාමැදිරියන් කෑ ගසන හඬින් මුලු පරිසරයම පිරී තිබුණා. ඒ අතරින් විටින් විට ඇසුණේ ගෙම්බන්ගේ හඬ. මේ රත්‍රියේ පිහිල්ලේ දිය පහරේ හඬ ඇසුණේ ඉතා දුරින්. මේ සියල්ල අතරින් ඇයට අසුණේ කුමක්ද..

"ම්හ්.. මොකක්.. මොකක්ද ඒ සද්දේ?"

ඇගේ නිදිබර බව සැනෙකින් මගහැරී ගියා.  නොසෙල්වී සිටි අයුරින්ම හිඳිමින් ඇය දෙසවන් යොමුකළේ වත්තේ ඈත කෙළවරකින් නැගුණු හඬ නැවතත් අසන්නට. නැවතත් ඉතා සිහින්ව නැගුණා ඒ හඬ.

"දෙවියනේ.. මොකක්ද ඒ සද්දේ"

ඇගේ දෙපතුල් සීතල වී ගියා. සෙලවෙන්නටවත් නොහැකිව එලෙසම සිටියා ඇය. සිත පමණක් වේගයෙන් සිතිවිලි නිපදවමින් හුන්නා.

"කාගෙද ඒ කටහඬ? ගෑනු කෙනෙක්ගෙ වගේ. මේ රෑ.."

එක් අතකින් පොරෝනයේ කොනක් දැඩිව අල්ලාගත් අය අනෙක් අතින් ඉතා සෙමින් ඇගේ ජංගම දුරකථනය සෙව්වා. එය සිය දෑස් ඉදිරියට ගත්තේ වේලාව බලන්නට.

"දෙක හමාරයි"

එයින් නිකුත්වූ කුඩා ආලෝකය නිසා අගේ බිය යන්තමින් පහ වී තිබුණා.

[22....]








Saturday, December 12, 2015

නීල නිලඹර [20 කොටස]

හිරූෂට වෙනදා මෙන් විහඟි හමුවිය නොහැකි වූයේ ඇගේ අමතර පංති පැවැත්වෙන වේලාවන් මේ වනවිට වෙනස්කර තිබූ බැවින්. එමෙන්ම ඔහු ද මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටි හෙයින් වෙනදා මෙන් නගරය පුරා ඇවිදිමින් රස්තියාදුවේ යාමද අඩු වී තිබුණා. විහඟි අමතර පංති වලට සහභාගි වූවද ඔහුට ඇය දකින්නටවත් ලැබුනේ නැහැ.

විහඟි මේ දිනවල සිටියේ නුවර යෑමේ අදහසින්. මේ වනවිට නිවාඩු මාසයේ සති දෙකක් ඉක්මගොස් අවසන්.

"අම්මා, අප්පච්චිට කියන්නකෝ නුවර යමු කියලා. තව සති දෙකයිනේ ඉතුරු"

විහඟිනී තම අරමුණ මව මගින් ඉටුකරගන්නටයි සූදානම. ඇය මව සමග කතාබහ ඇරඹූයේ මව, විහඟි සහ සෝමාවතී එක්ව මිදුලේ වූ ලෑලි බංකුවෙ වාඩි වී තේ බොමින් සිටි අතරවාරයේදීයි. සෝමා උත්පලා මැතිණියගේ මුහුණ දෙස බැලූයේ පිළිතුරක් අපේක්ෂාවෙන්.

"අප්පච්චි යනව කියලා කිව්වනේ දුව. ඔයාගෙ ක්ලාසස් වැටුනු නිසයි මේ"
"අනේ අම්මේ, අපි යමුකෝ. ඇසළත් ඇහුවා එනවද කියලා. එක දවසක කිලාස් නේ මග ඇරෙන්නේ"

ඇය ඇවටිලි කරන්නට වූවා.

"අප්පච්චි එයිනේ තව ටිකකින්, මං කියන්නම්කෝ"

උත්පලා මැතිණිය කීවේ තම දියණියගේ නොඉවසිල්ලට සිනහසෙමින්. නිවාඩු සමය එළඹෙන්නටත් පෙරම ඔවුන් මහ ගෙදර යාමට තීරණය කර අවසන්වයි සිටියේ. මේ කතාබහ අවසන් වන්නටත් මත්තෙන්ම ඇසුනේ නිවසේ දුරකථනයට කෙටි පණිවිඩයක් පැමිණීමෙන් නැගුණු හඬ. කිසිවෙක් එය වෙත යාමට උනන්දු වූයේ නම් නැහැ.
විහඟිනීට එය ඇස ගැටුනේ ඇසළගෙන් පැමිණි දුරකථන ඇමතුම අතරවාරයේදීයි. ඇය ඇමතුමේ සිටියදීම එය කියවූවා.

"මොනාද ඔය කීක් කීක් ගගා ඔබන්නේ? අපෝ කන් දෙකත් ඉවරයි මගේ"
"අනේ සොරි ඇසළ, මේ මැසේජ් එකක් බැලුවා"

ඒ හිරූෂ ගෙන්. 'සොරි බබා. ඔයාට කරදරයක් උනාද මං කෝල් කරපු එක' 'කෝල් කරපු එක කරදරයක් තමයි. දැන් නම් මළ ඇනයක් වීගෙන වගේ එන්නේ' ඇයට සිතුනේ එසේයි. ඇය පිළිතුරු යැවීමෙන් වැළකී සිටියා.

"නිවාඩුව ඉවරවෙන්න කළින් වරෙන් බං"

ඇයව පියවි සිහියට ගත්තේ ඇසළ.

"එනව තමයි මැට්ටො. මං තනියම එන්නද, අම්මයි අප්පච්චියි එන්න ඕන නේ. කියනවකො  මාමටයි නැන්දටයිත් ඔය විදිහටම"
"මේ අපේ අම්මලට?"
"අයියෝ... නෑ නෑ. ඔයාගෙ මාමටයි නැන්දටයි. ඇත්තමයි මේ ඇසළයගෙ මොලේ නම්.."
"වරෙන්කෝ, මං අල්ලගන්නම උඹව"
"ආ ඒව කොහෙද මාත් එක්ක."
"ආපුවම රණ්ඩු කරමු, විහඟි, එනව හොඳේ ඉක්මනට. විශේෂ දෙයක් තියෙනවා අපිට කතාකරන්න"
"අපිට කිව්වේ.?"
"ඔය ඉතිං, ආපුවාම කියන්නම්. බායි විහඟි"
"හ්ම්.. බායි"

ඒපාර මොකක්ද...? ඇය දුරකථනය තැබුවේ කල්පනාබරව.


[21 කොටසට...]

Wednesday, December 9, 2015

නීල නිලඹර [19 කොටස]

විහඟිනී සිටියේ මිදුලෙහි, මල් පාත්තියක් සකසමින්. උඩුනුවර මහතා සහ මැතිණිය සුපුරුදු පරිදි පොළට ගිය දිනයක් එදින. සෝමා වත්ත පහළ. මිදුලෙහි සිටි විහඟිනීට ඇසුණා දුරකථනය නද දෙන අයුරු, දෑත් පිසදමමින් ඇය ගෙතුළට ගියේ, ඇමතන්නාට සිතෙන් බැනවදිමින්. ඇය දුරකථනය වෙත ළංවන විටම විසන්ධි උනා ඇමතුම.

"කවුද මංදා මිස්කෝල් ගහන්නේ"

මුමුණමින් ඇය සටහන්ව ඇති දුරකථන අංකය බැලුවා. නුපුරුදු අංකයක්.

"කාටහරි වැරදිලා වෙන්න ඇති. අපරාදෙ මං දුවගෙන ආවා"

ඇය නැවතත් මල් පාත්තිය වෙත ගියා, මෙවර ඇයට සුද්ද කරන්නට ඉතිරිව තිබුණේ කුඩා බිම් පෙදෙසක් පමණයි. නැවතත් දුරකථනය නාදවන හඬ.

" ඒ ගමන කවුද? අනේමංදා"

ඇයට නැවතත් යන්නට කම්මැලිකමක්.නාදය නතරවූවා. ඇය නැවතත් මල් පාත්තිය දෙසට හැරුණා. නැවතත් දුරකථනය නාදවන හඬ. එවරනම් ඇයට පෙරටත් වඩා කේන්තියි.

"හරි කරදරයක් උනානෙ මේක. කවුද මංදා මේ. බලමුකො, මං හොඳ වැඩක් කරන්නම්"

මිදුලෙහි කෙලවරක සිටි විහඟි වේගයෙන් දෑත් පිසදමමින් දිවගියා නිවස තුළට. පෙර සටහන්ව තිබූ අංකයමයි. දුරකථන අතළුව එසවුනේ මඩ තැවරුණු අතකින්මයි.

"හෙලෝ, කවුද මේ?"

ඇය විමසුවේ කේන්තිගත් ස්වරයෙන්.

"මට විහඟිනීට කතාකරන්න පුළුවන්ද?"

අනෙක් පසින් ඇසුණේ අවුරුදු දහ අටක - දහ නවයක ගැටවර හඬක්.

"ඔව්. විහඟිනී කතාකරන්නේ. මට දැනගන්න පුළුවන්ද කවුද මේ කියලා"

ඇයගේ හඬෙහි වෙනසක් වූයේ නම් නැහැ.

"විහඟි නංගි, මම හිරූෂ අයියා"
"ආහ්, හිරූෂ අයියා..?"
"කොහොමද විහඟි?"
"හොඳින් ඉන්නවා අයියේ, ඒකනෙමෙයි, මේ... ඔයාට කොහෙන්ද අපේ ගෙදර නම්බර් එක?"
"මං කොහොමහරි හොයාගත්තනේ"

කේන්තිගෙන සිටි විහඟිනියට ඔහුගේ මේ ඇමතුම නම් රිසිවූයේ නැහැ.

"ඔව් ඉතිං, ඔයා හොයාගෙන කියලනම් මම දන්නවා, මම ඇහුවෙ කොහෙන්ද කියලයි."

තරහ පාලනය කරගත් හඬින් විමසූවත් ඇයගේ දැඩි බව හිරූෂට දැනුණා. ඇයව අමනාප කරගැනීමට හෝ ඇය තමා පිළිබඳ අසුබවාදීව සිතනවාට ඔහුගේ කැමැත්තක් වූයේ නැහැ.

"කේශිලාගෙන් නංගි. කේශිලාගෙ ෆෝන් එක මං ළඟ තිබුනනේ. මං ඒ දවස්වල ගත්තෙ. දවසක් නිකමට වගේ නම්බර්ස් ටික බලාගෙන යද්දි ඔයාගෙ නම්බර් එක දැකලා සේව් කරගත්තා. හදිසියකට කේශිලාට පණිවිඩයක් හරි කියන්න පුළුවන්නේ කියලා"

ඔහු කියාගෙන ගියේ ඒ හැඟීම නිසාමයි.

"ම්.. කේශිලාට මොකක් හරි පණිවිඩයක් තියෙනවද අයියේ?"

ඇය විමසුවේ ඔහුගේ වදන් නිසාමත් නොවෙයි. ඇතැම්විට මිතුරියගේ දුරකථනය ඇගේ මව වත් ගෙන ඇත්දෝයි සිතමින්.

 "නැහැ විහඟි, මම මේ ඔයාට නිකමට කෝල් කළේ. "
"කොහොමද අයියේ, කේශිලා හොඳින් ඉන්නවද? පහු උනු දවස්වල ඔයා කෝල් කළෙත් නැහැ කිව්වා"
"ඒක හරි දැන් නංගි, මං එහෙනම් තියන්නම්. පස්සෙ වෙලාවක කතාකරන්නම්කෝ. බායි'
"ඕකේ. බායි"

විහඟි සමගින් කේශිලා පිළිබඳව කතාකිරීමට හිරූෂ රිසිවූයේ නැහැ. ඒ නිසාමයි ඔහු, ඒ මාතෘකාව ඇදී එත්දීම ඇමතුම විසන්ධි කරන්නට හදිසි වූයේ.
විහඟි හිරූෂගේ අංකය දුරකථන මතකයේ ගබඩාකර තැබුවා.


Saturday, December 5, 2015

නීල නිලඹර [18 කොටස]

විහඟි තම මිතුරියගෙන් දෑස් සඟවාගත්තා. කේශිලාට වෙනසක් දැනුනේ නැහැ.

"විහඟි, උඹට පුළුවන්ද බං හිරූෂ අයියට කෝල් එකක් දාල බලන්න..? මට දැන් ඇතිවෙලා ඉන්නෙ විහඟි.
හිරූෂ අයියා හිතේ තියන් ඉන්නවා, ඒත් ඒක කියන්නෙ නැහැ.."
 "මං කෝල් කරන්නම්. ඔයාගෙ ෆෝන් එකෙන්ද? "
 "ම්.. නැහැ. අපි කමියුනිකේශන් එකකින් ගමු. මේකෙන් ගත්තට ආන්සර් කරන එකක් නැහැ"

පංතිය නිම වූ විගස කේශිලා තම මිතුරියත් සමග ගියේ ඇය නිතරම හිරූෂට දුරකථන ඇමතුම් ලබාගන්නා දුරකථන කුටියක් වෙතයි.

"මම නම්බර් එක ඩයල් කරල අයින් වෙන්නම්, ඔයා කතා කරල කියන්න"

කේශිලා හිරූෂ ගේ දුරකථන අංකය ඇතුළත් කර දුරකථන කුටියෙන් ඉවත්වූවා. දිගින් දිගටම දුරකථනය නාදවනු ඇසුනත් එයා අවසාන වූයේ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වාමයි.

"ආන්සර් කරන්නැහැනෙ කේශි. මොකද කරන්නේ? ආයිත් ට්‍රයි කරන්නද?"
 "ඕන නැහැ බං, ඌට එපානම් මම මොකටද මෙච්චර කෝල් කරන්නේ. මෙහෙන් මම කෝල් කරනවා කියල දන්න නිසයි කතා නොකර ඇත්තෙ"
 "හ්ම්... ආහ්, මට සමහර දවසට හිරූෂ අයියව හම්බවෙනවා. හවස ක්ලාස් ඉවරවෙලා යද්දි. මම ඒ වෙලාවක කතාකරන්නද මේ ගැන?"
"පුළුවන්නම් කතාකරන්න විහඟි. අනේමන්දා මට හිතාගන්න බැහැ"

හිරූෂ ඇතැම් විට තමා පිළිබඳ උනන්දු වග දැනුනත් විහඟිනී තම මිතුරිය වෙනුවෙන් ඔහු සමග කතාකිරීමට සිතාගත්තා.

සුපුරුදු ලෙසම පසුදින සවස පංතිය අවසන් වී ඇය පැමිණෙන විට හිරූෂ බස්නැවතුම්පළෙහි සිටින අයුරු විහඟිනී දුර සිටම දුටුවා. ඇයට ඉදිරියෙන් ගමන් කරමින් සිටියේ ඇයට ඉහළ පංතියෙහි පිරිමි ළමුන් පිරිසක්. මේ දිනවල ඔවුනට උසස් පෙළ විභාගය පැවැත්වෙමින් තිබුනා. ඔවුන්ව දුටු විගස විහඟිනී එදෙසට දෑස් යොමුකළේ නිම්සරද ඔවුන් අතර ඇතිදැයි විමසිලිමත් වෙමින්. කුමක්දෝ හේතුවකට පිටුපස හැරී බැලූ ගිහාන් විහඟිනීව දුටුවා. ගිහාන් තමන්ට ඉදිරියෙන් ගමන් කරමින් සිටි නිම්සරව ඇයට පෙන්වූයේ ඇය සොයන්නේ නිම්සරව බව දන්නා නිසයි.

"නිම්සර අයියෙ, කොහෙද මේ අද.."

ගිහාන්වද පසුකර  දිවගොස් පාර මාරුවෙමින් සිටි නිම්සරගේ අතෙහි එල්ලුණු ඇය විමසුවේ ඔහු සමගින් අනෙක් පසට යන අතරතුරදීයි.

"රිවිෂන් ක්ලාස් එකක්"

නිම්සර පැවසුවේ විහඟිනීගේ අත ඇයට දැනෙන්නට නොදැනෙන්නට මෙන් ඉවත් කරමින්.

"ආනේ ඇත්තද? කවදද අයියේ ආයිත් එක්සෑම්?"
"ලබන සඳුදා. ඔයාට මේ නුවාඩු දවස්වලත් හවස ක්ලාස් ද? මං හිතුවෙ මේ දවස්වල නැතිව ඇති කියලා"
"අනේ ඔව් අයියේ. ක්ලාසස් සේරම එකම දවසක තිබිලා අනිත් දවස් ටික නිවාඩු තිබුනනම්"

විහඟිනීගේ කතා තාලයට වෙනස්වන මුහුණ දෙස නිම්සර හැරී බැලුවා. එවිටයි ඔහු දුටුවේ, තමන් දෙස බලා සිටින හිරූෂ ව. නොදැකියා සේ ඔහු නැවතත් මිතුරිය වෙතට යොමුවූවා.

"මේ පාර නිවාඩුවට නුවර යන්නෙ නැත්ද නංගි"
"ම්... යන්න ඕන අයියේ, ඒත් මේ ක්ලාස් නිසයි යන්න විදිහක් නැත්තේ"

ආගිය තොරතුරු කතාකරමින් ගිය විහඟිනීට තම මිතුරියගේ පණිවිඩය අමතක වූවා. හිරූෂ බලා සිටියා, නිම්සර සමගින් විහඟිනී බස් රියට ගොඩවන අයුරු.