Monday, May 30, 2016

ගම ආවෙමි

මනුස්සකමක් නැති, හිතවත්කමක් නැති කොළොම්පුරේ අත් ඇරල ගමට ආව. දවස් පහකට. අදින් ඒ දවස් පහත්  ඉවරයි. ආයිත් යන්න වෙනවා කියල මතක්වෙද්දී පිස්සු හැදෙනවා. 

මේ මගේ ගම. මං ඉන්නෙ මේ පේන කන්ද පාමුල. දෙතනගල කන්ද, දෙදනගල කන්ද කියලත් මේ කන්දට කියනවා. කාන්තාවකගෙ පියයුරු වල හැඩයෙන් යුක්තයි කියල තමයි දෙතනගල කියන්න්නේ. දෙදනගල කියන්න හේතුව, රාම කුමාරයා රාවණා රජ්ජුරුවන්ට හීයෙන් විද්දෙ මේ කඳු දෙකට දණහිස් දෙක තියාගෙනලු.
හ්ම්ම්ම්. කොළඹ බලන බලන හැම පැත්තෙන්ම ගොඩනැගිලි. ගස් තියෙන ගාන ගණන් කරන්න පුළුවන් තරමයි. ඒත් මගේ  ගම.. මට මේ ගමේ ගෙවල් තියෙන  ගාන හීතෙන් උනත් ගණන් කරන්න පුළුවන්. බලන බලන හැම පැත්තම කොළ පාට.
මල්, පළතුරු, සත්‍තු. මේ ජම්බු ගහත් දඩුලේනෙක් අයිති කරගෙන මේ දවස් ටිකේ. කොළඹට දැනෙන රස්නෙ ගමටනම් දැනෙන්න හිතලවත් නැහැ වගේ. මේ පරිසරේ නිසාම වෙන්න ඇති.

 අවුරුද්දට ගමේ ගියපු දවස්වලයි මේක බාගෙට ලියලා නතර උනේ. කොහොම ලියන්නද, ඒ දවස්වල වැඩත් ඉතිං වැඩි නේ. කොහොම උනත් ගමේ  තියෙන නිදහස මේ කලබලකාර කොළඹදි නම් කවදාවත් විඳගන්න බැහැ. වෙනද වගේ හිතේ නිදහසකුත් නැහැ. ඒත්, මේ ලියපු පොඩ්ඩ උනත් පෝස්ට් කරන්න ඕන කියලම හිතෙන නිසා ඔන්න මං පබ්ලිශ් කරල දානවා

Wednesday, February 3, 2016

කතා කරන ඇස් වලට [part 2]

ඊටපස්සෙ දවසෙත් මම වැඩට ගියා. ඔන්න දැන් ටික ටික ඕෆ් වෙන වෙලාවත් ළංවෙනවා. කොහොමහරි ඉක්මනට පැනගන්න පුලුවන් උනොත් ඊයෙ ගිය බස් එකටම යන්න පුලුවන්.මැනාත් නැති නිසා සුජී අයියව ශේප් කරගෙන ඉක්මනින් ඕෆ් වෙලා පාරට ආවා. හරි, ඔන්න මම වෙනදට යන බස් එකේම ඒ ටික දුර ආවා. බස් එකත් අද වේගෙන් එනවද මන්දා.. ම්... සමහරවිට මට හිතෙන හැටි. ඉක්මනින්ම අනිත් හෝල්ට් එකට ආවා. ම්.. වේලාසන නෙමෙයි. වෙනද වෙලාවටමයි. හරි.. බලමුකෝ.. දැන් බස් එක එයිනේ. අදත් ඉඳීද......

වාව්.. බස් එක ආවා, ඔන්න දැන් මම බස් එකට නැගලා හතර වටේ බලනවා, ම්හ්... පේන්න නැහැ. ම්... කෝ මේ මැට්ටා..? අද ඇවිත් නත්ද? පිටිපස්සෙ සීට් වලත් නැහැ. ම්.. ඉස්සරහත් නැහැ වගේ. අනේ....! මොනා කරන්නද ඉතිං. මං දැන් මූණ දෙක කරන් උඩ බලාගෙන ඔහේ එනවා.

ඉස්සරහම සීට් එකේ ඉන්න කෙනෙක් [ඩ්‍රයිවර් සීට් එකට පිටිපස්සෙ සීට් එක] සුදු පාට ෂර්ට් එකක්, අත් දිගට ඇඳලා.. එයාගෙ අත ජනේලෙ ළඟ හිටපු කෙනාට පිටිපස්සෙන් දාලා ජනේලෙ ළඟින් අල්ලගත්තා. මේ ඩ්‍රයිවරය වංගු ගන්නෙ පුදුම විදිහට. කොහොමත් ඉතිං එහෙම අල්ලගත්තෙ නැත්නම් බිම තමයි.  මම ආවෙ හිටගෙන, එයාලට සීට් දෙකක් විතර පිටිපස්සෙන්. මට ආයිත් ටික වෙලාවකින් ඒ පැත්ත බැලුනේ ඉබේටම වගේ. ම්.. මේ අර කොල්ලද..? මම තව ටිකක් හොඳට බැලුවා. මූණ පේන්නෙත් නැහැ හොඳට.. ඉස්සරහනේ. එතන ඉස්සරහ කණ්ණාඩියෙන් මූණ යන්තම් පෙනුනා. ඔව්. ඒ බෝයි තමයි. මොකද මේ සුදු ෂර්ට් එකක් ඇඳගෙන? මම ඉතින් අහක බලාගෙන ආවා. කතා කරන ඇස් උනාට එහෙම බලන්න හොඳ නැහැ නේ.

ටික වෙලාවකින් මටත් වාඩිවෙන්න පුළුවන් උනා. ඒ කෙළින්ම පිටිපස්සෙ තුන් වෙනි සීට් එකේ.ඔහ්.. මේ ඉස්සරහ සීට් එකේ ඉන්න කෙනා මට වඩා උසයිනෙ. දැන් ඉතින් කොහොමද කතා කරන ඇස් දිහා බලන්නෙ. ඒපාර එහෙන් මෙහෙන් බෙල්ල හරව හරව පිස්සි වගේ ට්‍රයි කළා, කෝ.. ඒත් ඒ මැට්ටගෙ මූණ පේන්නෙ නැහැ. ම්... අහ් ඔය ඉන්නෙ. බස් එක වංගු ගන්නකොට යන්තමට වගේ දැක්කා එක සැරයක්. කතා කරන අස් වලට මගේ ඇස් අහු වෙලාද? ඒ.. ඒ කියන්නෙ ඒ ඇස් මම දිහාද ඒ බලාගෙන හිටියෙ.. ඉවරයි. දැන් නම් ඉතිං. හොරෙන් බැලුවට අහුවෙන්න හිතුවෙ නැහැ නෙ. මොනා කරන්නද, නොදැක්ක ගානට අහක බලාගත්තා. ආයිත් ටික වෙලාවක් යද්දි මගේ ඇස් ඉබේටම වගේ ඒ දිහා බලනවා. මේ ඇස් දෙකත් හිත කියන දෙයක් අහන්නෙම නැහැ නෙ. ආයිත් කිහිප වතාවක්ම මගේ පිස්සු ඇස් දෙක අහු උනා. ඊගාවට මම කළේ ඇස් පියාගෙන එන එක. හරිනෙ දැන්.

බහින තැනත් ළං වෙලා. හරි, දැන් මේ කපටියට ඉස්සරවෙලා බහින්න දීල බලමු, කොහෙටද අතුරුදහන් වෙන්නෙ කියලා. වෙනද වගේ මම ඉස්සරවෙලා බැහැල යන්න උත්සාහ කළේ නැහැ. මට ඉස්සරහින් හිටපු කතාකරන ඇස් මට ඉස්සරවෙලාම දොර ළඟට යනකම් මම පොඩ්ඩක් පරක්කු උනා. ඔව්. ඔන්න දැන් මගේ වෙලාව. බෑග් එකත් එල්ලගෙන මමත් දොර ළඟට කිට්ටු උනා. කතා කරන ඇස් මට ඉස්සරහින්. බස් එක නැවැත්තුවා.

ආයිත් හැරිලා මගේ ඇස් දිහා කෙළින්ම බැලුව එකපාරටම. මම කොහෙත්ම නොහිතුව වෙලාවක. අනිත් අය බහින අතරෙ මේ කොල්ල මට බහින්න ඉඩ දුන්නා එයා බහින්නෙ නැතිව. මොකද මේ.. හිතන්න වෙලාවක් නැහැ, මම බස් එකෙන් බැස්සා. ඔව්. එයාත් මට පිටිපස්සෙන් බහිනවා.
බැහැපු ගමන්ම මම අයින් වෙලා සෙනග අඩු තැනකට ගියා. බලමු දැන් කොහෙද යන්නෙ කියලා. ම්... අදත් නැත්ද? මම පිටිපස්සෙන්ම බැස්සනේ, ඔව් ඔව්. මම හොඳටම දැක්කා. ඒත් දැන්.. අනේ අදත් මග ඇරුණද. පාරවල් තුන හතරටම ඔලුව දාල බැලුවත් පේනතෙක් මානෙක නැහැ. මම යන පාරෙන්ම වත් ගියාද? ඔව්, ඒකත් වෙන්න බැරි නැහැ. පුළුවන් තරම් වේගෙන් ආවත් මම ආව දුරට නම් ඒ ඇස් දෙක හිටියෙ නැහැ.

[03...]

Sunday, January 3, 2016

කතාකරන ඇස් වලට..


ම්.... මට මතක විදිහට එදා ඉරිද දවසක්, මම ඕෆ් වෙලා එක බස් එකක දුර ගෙවාගෙන අනිත් හෝල්ට් එකට ආවා. තරුණ කාලෙ ලස්සනට හිටියා කියලා හිතන්න පුළුවන් සිරියාවන්ත ආච්චිඅම්ම කෙනෙක් බස් හෝල්ට් එකේ වාඩිවෙලා හිටියා. මගෙත් එක්කත් හොඳට හිනාඋණු නිසාම මාත් ආච්චිඅම්මත් එක්ක හොඳට හිනාඋනා.එයා ඒ හිනහවෙන් නතර උනෙත් නැහැ, මගෙත් එක්ක හොඳට කතාකළා. දන්න අඳුරන කෙනෙක් එක්කවත් මගතොටේදි කතාකරන්නෙ නැති මමත් ඒ ආච්චිඅම්මත් එක්ක හොඳට කතාබහ කළා. වෙනද මම එන බස් එකටමයි ඒ ආච්චිඅම්මත් හිටියෙ. මොන හේතුවකටද මන්දා එදා ඒ බස් එක තිබුනෙ නැහැ. ඊගාව බස් එකේ මට එන්න පුළුවන්කම තිබුනත් එයාට ඒ බස් එකේ යන්න පුළුවන්කමක් තිබුනෙ නැහැ, මම ඒ ගැන කිය කියා ඉද්දිම අපේ බස් එක ආවා. බස් එක දැක්කෙ හෝල්ට් එක ළඟටම ඇවිත් නවත්තද්දි වගේ නිසා හදිසියෙම ආච්චිඅම්මට යන්නම් කියාගෙන මම බස් එකට නැග්ගා.

වාඩිවෙන්න නම් ඉඩක් තිබුනෙ නැහැ. බස් එකට නැගපු තැනම සීට් එක අල්ලගත්තු මගේ බෑග් එක ඉල්ලගත්තෙ අපේ ගෙවල් ගාව නැන්ද කෙනෙක් ඉඳලා. ටිකක් දුර එද්දි මට ඊගාව සීට් එක ගාවට යන්න පුළුවන් උනා.

වාව්.. මාර ලස්සන කොල්ලෙක්. නිල් පාට ෂර්ට් එක. වාඩිවෙලා හිටියෙ. පිස්සු හැදෙන ඇස් දෙකක්. නොබල ඉන්නෙ කොහොමද? ඒත් ඉතිං කොල්ලෙක් දිහා බලන්නත් බැහැ නෙ එහෙම. ගමට එන බස් එක උනත් මං ඊට කළින් දැකලම නැහැ. 'මගින් බහිනව ඇති' හිත කිව්වෙ එහෙම. බස් එක නවත්තන හැම හෝල්ට් එකක් ගානෙම දැන් බහියිද - දැන් බහියිද කියලයි හිතුනෙ. නැහැ. හුඟක් දුර එනකන්ම ඒ හිටපු විදිහමයි. 'කොහාටද යනවා ඇත්තේ..'

අන්තිමේදි මං බහින හෝල්ට් එකත් ළං උනා. 'ම්හ්. කොහේ යනවද මංදා. තවමත් වාඩිවෙලා. ජනේලෙන් එළිය බලාගෙන. මං අන්තිම පාරටත් හොරෙන් බලලා පොඩ්ඩක් ඉස්සරට ඇවිත් නැන්දගෙන් මගේ බෑග් එක ගත්තා. තව අඩියක් ඉස්සරහට තියන්න හැදුවා විතරයි. මොකද මේ මට ඉස්සරහට යන්න බැරි. මගේ කොණ්ඩෙ. අප්පට සිරි, කොණ්ඩෙ පැටලිලා. බෙල්ල හරවලා බලන්නත් බැහැ. කවුරුහරි ඒ පටලැවිල්ල අරවන්න උත්සාහ කරනවා දැනුනා. මගේ කොණ්ඩෙනෙ. අමාරුවෙන් උනත් පිටිපස්ස බැලුවා. කාගෙදෝ මන්ද බෑග් එකක පැටලිලා. කොහොමද එහෙම උනේ? ඇත්තමයි මේ කොණ්ඩෙ නම්..

දැන් කවුද එතකොට මේ මෙච්චර පරාර්තකමී වෙලා මට උදවු කරන කෙනා..? මගේ ඔලුවයි බෑග් එකයි දෙකම අල්ලගෙන මේ අවුල ලිහන්න හදන්නේ. ආයිත් බෙල්ල කරකවන්න වෙනව ඉතිං. ඈහ්... මේ අර ලස්සන ඇස් දෙකනෙ. මෙයා මොකද මේ..?

"මොකද උනේ? පැටලුනාද? "

මං නැන්ද දිහා බලල අහිංසක විදිහට හිනා උනා.

"කොණ්ඩෙත් අවුල් උනා නේද්? විසේ නෙ.."

හෆෝයි. බැන්න නේද ලස්සන ඇස් දෙකට.

අන්තිමේදි ලස්සන ඇස් දෙකේ උත්සාහය සාර්ථක උනා. මං බාගෙට ලිහුණු, පැටලුණු කොණ්ඩෙ එක අතකින් අල්ලගෙන බස් එකෙන් බැස්සා. අර ඇස් දෙකත් මට පිටිපස්සෙන්ම බස් එකෙන් බැස්සා.අක්කලෑ කඩේට ගිහින් කොණ්ඩෙ හදාගෙන ඇවිත් බලද්දි මේ මැට්ට අතුරුදහන්. ම්... කොහෙට ගියාද? හන්දියේ ඉඳන් තුන් පැත්තටම යන පාරවල් වලට ඔලුව දාල බැලුවත් ම්හ් පේන්න නැහැ. කොහොමාද අතුරුදහන් උනේ.. කොහෙද මේ කොල්ලා.. කළින් දැකලත් නැහැ.
මෙන්න මෙයා වගේ
[තව තියෙනවා...]