Tuesday, January 28, 2014

නීල නිලඹර { 09 කොටස }

[01 කොටස]

[02 කොටස]

[03 කොටස]


"කොහෙද මෙච්චරවෙලා හිටියේ?"
විහඟිනී වෙත ළං වූ ඔහු ඇගෙන් ප්‍රශ්න කරන්නට වූයේ ඇගේ අයිතිකරු ලෙසිනි. නිම්සර කෝප වී වග වැටහුනු විහඟිනී ඒ කිමදැයි සිතුවේ ඇයට හේතුව වටහාගන්නට නොහැකිවය.
"මං.. පත්තර කියවන තැන හිටියෙ නිම්සර අයියේ.."
"  මම දැක්කෙ නැහැ නෙ, ආ හරි එන්න යන්න"
කිසිවක් සිතාගන්නට ඉඩක් නොමැතිවම නිම්සර විහඟිනීගේ අතින් අල්ලාගෙන හැරුණි.
"හිරූෂ අයියේ, කේශිට කියන්න"
ඇය නිම්සර සමග යමින්ම කීවේ, නිම්සරගේ ගති පැවතුම් පිළිබඳව තරමක වැටහීමක් තිබුණු බැවිණි. කේන්තිගත්විට නිමසර කලබලකාරයෙකු වග විහඟිනීලාගේ පවුලේ උදවියද කතාවූවක් විය.
"දැන් කොහෙද යන්නේ..?"
පාරට පැමිණි පසු, නිම්සර විහඟිනීගේ වමත අතහරිද්දී ඇය ඇසුවේ ඔහුගේ කලබලයටත්, හේතුවක් නොමැති කේන්තියටත් සමච්චලයට සිනාසෙමෙනි.
"හිනාවෙන්නෙ මොකද?"
නිම්සර නැවතත් රකුස් වෙස් ගත්තේය.
කිසිවක් නොපවසා ඉවත බලාගත් විහඟිනීගේ සිතෙහිද තරමක කෝපයක ඉපදිණි.
"එන්න.. යමු"
නිමසර ඈ කැටුව ගියේ මිතුරෙකුගේ මෝටර් සයිකලයක් වෙතය.
"නගින්න.."
"මේ මොකද මේ.. කොහේ යන්නද?"
විහඟිනී ගැටළු රැසකට මැදි වූවාය. නිම්සර කුමක් කරන්නට හදනවාදැයි ඇය තුළ හඟීමක් නොමැති විය.
"කිව්වම අහල නගින්න ඉතින්"
නිම්සර හිස ආවරණය පැළඳ ගනිමින් පැවසීය.
"මට බැහැ, කොහේ යන්නද? ඔයාට පිස්සුද නිම්සර අයියේ, මොකක්ද මේකෙ තේරුම?"
නිම්සර හිස් ආවරණය තුළින් විහඟිනී දෙස බැලුවේය.
"ආ මේක දාගන්න"
විහඟිනීට ද හිස් ආවරණයක් දුන්නේය.
"ඕක දාගන්න. මිනිස්සුත් බලනවා"
ඇත්තය. එවේලෙහි මග යමින් සිටි ගැහැනියක විමසිල්ලෙන් ඔවුන් දෙස බලනවා විහඟිනී දුටුවාය.
"ඇයි මේ කියන්න. කොහේ යන්නද?"
"නගින්නකො, යන ගමන් කියන්නම්"
"මට බැහැ, ඔයා මොකක්ද මේ කරන්න හදන පිස්සු වැඩේ..?"
මද වේලාවක් විහඟිනී දෙස බලාසිටි නිම්සර,
"නගින්න.. මම ඔයාව ක්ලාස් එක ගාවින් දාන්නම්"
යැයි කීවේ කේන්තිය පහකරගත් මුවිනි.
"මන්දා.. මටනම් තේරෙන්නෙ නැහැ ඔයා මේ කරන පිස්සු වැඩේ මොකක්ද කියලා"
විහඟිනී පැවසුවේ හිස් ආවරණය නිම්සරගේ අතින් ගනිමිනුයි.
"තැන් තැන්වල එක එකාත් එක්ක කයිවාරු ගහනවට වඩා හොඳයි ක්ලාස් එකට ගිහින් පොතක් බලාගන්න එක"
නිම්සර පැවසුවේ, විහඟිනී හිස් වැසුම පැළඳගනිද්දීය. ඔහු විටෙක තම සොයුරෙකු තරම් ද, විටෙක හොඳම මිතුරෙකු මෙන්ද වූ හෙයින්, හිරූෂත් සමග කතාබහ ඔහුගේ කෝපය වඩවන්නට ඇතැයි සිතාගත් විහඟිනී සැකයකින් තොරව සයිකලයට නැගුනේ ඔහු ඇයට මෙන්ම පවුලේ අයටද විශ්වාසවන්තම තැනැත්තෙකුද වූ හෙයිනි.
විනාඩි කිහිපයකින් විහඟිනීගේ පංති පවැත්වෙන ස්ථානයට ළඟා වූ නිම්සර ඇයව එතැනින් බැස්වූයේ, ඇයට පංති පටන්ගන්නට තරමක් වේලාව තිබූ හෙයින් ඇගේ තනියටද රැඳී සිටියේය.
"මං පොත ගෙනාවා"
විහඟිනී, ඔඅහු වෙතින් රැගෙන තිබූ පුස්තකාල පොත ඔඅහුට ආපසු දෙමින් කීවාය.
"ආයිත් පොතක් ගන්න ඕනද?"
"දැනට නම් නැහැ අයියේ.."
විහඟිනීට පංති පැවැත්වෙන තැන බංකුවක වාඩි වූ නිම්සර ඇයත් සමග කතාවකට මුලපුරන්නට සැරසුණි.
"අඩෝ නිම්සර.. උඹ මොකද බං මෙහේ..?"

{10 කොටසට....}

Sunday, January 26, 2014

නීල නිලඹර { 08 කොටස }



[පළමු කොටසට]

"ගුඩ් මෝනින්ග් විහඟි, ලැහැස්තිද ඔයා?"
"හරි කේශි, යමු"
"ඔයාලගෙ කෑම ඔය මේසෙ උඩ. මතක් කරලම දාගන්න"
උදෑසන එකම කලබලයකි. ලහි ලහියේ සූදානම් වූ කේශිලාත් විහඟිනීත්, සරලාගේ දෙපා වැඳ පිටත්වූහ.
"මම හැමදාම යන්නෙ මේ බස් එකේ, මේක මෙතනට එනවා හත විතර වෙද්දි"
කේශිලා, මිතුරියට පැවසුවේ බස් රියට නැගුණු පසුවයි. හතයි පහළොව පමණ වනවිට ඔවුනට පාසලට යා හැකිවිය.
"විහඟි.."
ඒ නිම්සරගේ හඬයි.
"ආ නිම්සර අයියේ, ගුඩ් මෝනින්ග්"
ඒ වනවිට පවුල් දෙක අතර වූ මිත්‍රත්වය හේතුවෙන් නිම්සරත් විහඟිනීත් හොඳම මිතුරන් බවට පත් වී සිටියෝය. එපමණක්ද නොව, ඔවුන් කුඩා කලද එක්ව වැලිබත් ඉවූවන් විය. විහඟිනී කුඩාකල හෙයින් ඇයට මතකයට නගාගත නොහැකි වූවද නිම්සරට නම් ඒ අතීතය හොඳින්ම මතකයේ රැඳිණි.
"ගුඩ් මෝනින්ග්, අද කේශිලාගේ ගෙදර ඉඳන්ද ආවෙ?"
ඇය හිස සැලුවාය.
"හවස ක්ලාස් ද අද?"
"නැහැ අයියේ"
"හෙට..?"
"හෙටනම් ක්ලාස්, ඇයි නිම්සර අයියේ?"
"කීයටද?"
"ම්.. හතරට විතර. ගෘප් ක්ලාස් එක"
"හතරට විතර.."
නිම්සර මඳක් කල්පනා කළේය.
"වේලාසන එන්න පුළුවන්ද.. ලයිබ්‍රියට?"
"හා, මං එන්නම්, තුනට විතර"
විහඟිනීට, මහජන පුස්තකාලයේ සාමාජිකත්වය නොතිබිණි. එහෙයින් ඇය තමාට ඇවැසි වූ පොත ලබාගත්තේ නිම්සරගේ සාමාජිකත්වයෙනි. ඇයට කිසියම් පොතක් අවශ්ය‍ වූ විට ඇය එය නිම්සරට කියා ගෙන්වා ගත්තාය.

පසුදින පාසල් ඇරී නිවසට ගිය මිතුරියන් දෙදෙනා, පුස්තකාලයටද යා යුතු වූයෙන් පංතිය පටන්ගන්නට තරමක් කාලය තිබියදී නිවසින් පිටත්වූයේ, තුන පමණ වනවිට පුස්තකාලය වෙත පැමිණියෝය.
"විහඟි, මම විමර්ෂන එකට යනවා. ඔයා එනවද?"
"බැහැ කේශි, නිම්සර අයියා ඒවි දැන්"
විහඟිනී, නිම්සර පැමිණෙන තෙක් පුවත්පත් අතර සරමින් සිටියාය. සති අන්ත පුවතපතක් වූ කෙටිකතාවක් දුටු ඇය, එය කියවන්නට පටන්ගත්තේ, සිත එය වෙතම නැඹුරුව තිබිණි. එක්වරම ඇගේ දෑස් වැසුනේ කිසිවෙකුගේ දෑතකිනි. නිම්සර විය නොහැකිය..
"අත ගන්නකෝ, කවුද..?"
පුස්තකාලය තුළ බැවින් ඇය මද ස්වරයකින් විමසුවාය.
සිනාසෙමින් ඇගේ වම්පස වූයේ හිරූෂය. සිනහ මුවින්ම  ඇය අත වූ පුවත්පත ගත්තේ, එය පෙරළමින්, විහඟිනී දෙස බැලුවේය.
"කේශිලා විමර්ෂන එකට ගියා අයියේ"
හිරූෂ කිසිවක් විමසන්නට පෙරම, විහඟිනී ඔහුට කීවාය.
"ආ.. ඔයා ඉතිං මෙතන.? ක්ලාස් නැත්ද අද?"
 "හවස.."
විහඟිනී පිළිතුරු දුන්නේ, ඔහු කේශිලා සොයා නොයන්නේ මන්දැයි සැකයෙන් යුතුවමය. කේශිලාව සොයන්නට නොගිය ඔහු, එහිම හිඳ පුවත්පතක් බලන්නට වුයේය.
තවත් මඳ වේලාවක් රැඳී සිටි විහඟිනී, නිම්සර එතෙක්ම නොපැමිණියෙන්, ඔහු සොයන්නට පුස්තකාල ගොඩනැගිල්ලෙන් බැහැරට පැමිණියාය. ඇය මඳ වේලාවක් පාර දෙස බලමින් සිටියදී, හිරූෂද ඇය වෙතට පැමිණියේය.
"මොකද මෙතන තනියම, කාවද හොයන්නේ"
"ආ හිරූෂ අයියා.. ඇයි ඔයා කේශිලා එක්ක තරහවෙලාද?"
විහඟිනී සිනාමුසුව විමසුවේ, ඔහු මිතුරිය වෙතට නොයෑම පිළිබඳව වූ සැකයටත් වඩා ඔහු නැගූ පැනය මගහැරීමටයි.
"විහඟි.."
විහඟිනීගේ පිටුපසින් තරමක් උස්ව නැගුනේ නිම්සරගේ කටහඬයි. හිස හරවා ඈ එදෙස බලනවිට කෝපගත් දෙඇසින් විහඟිනී දෙස බැලූ ඔහු වේගයෙන් ඇය වෙතට පැමිණියේය.

Wednesday, January 15, 2014

නීල නිලඹර { 07 කොටස }



පසුදින පොහොය දිනයක් වූයෙන් පාසැල් නිවාඩු දිනයක් වී තිබුණා පමණක් නොව, විහඟිනීට සහ කේශිලාට අමතර පංති යෙදී තිබුණේද නැත. එබැවින්, උඩුනුවර වලව්වේ වැඩිහිටියන්, තම දියණියව ඇගේ මිතුරියගේ නිවසට හැරලීම සඳහා එදින යොදාගත්හ.
විහඟිනීගේ ඇඳුම්, පොත්පත් ඇසිරීම සඳහා උත්පලා මැතිණියද ඇයට සහාය වන්නට වූයේ,
"අප්පච්චි කීයට විතරද අම්මා යනවා කිව්වේ?"
"අපි ටිකක් දවල්වෙන්න වගේ යමු දූ, එකට විතර"
"පොත් ගොඩක්නේ අම්මා"
"ඔයාගෙ පොත් නම් සේරම දාගන්න දුව මතක්කරලම, පාඩම් කරද්දි කරදරයක් වෙනව නැත්නම්"
"හරි අම්මා, ඒ සේරම දැම්මා."
ආගන්තුක නිවසක හැසිරෙන අයුරු පිළිබඳ තම දියණියට විශේෂයෙන් උපදෙසක් දීමට උත්පලා මැතිණියට නම් ඇවැසි වූයේ නැත. මන්දයත්, ඇය කිසිවෙකුට අවහිරයක් නොවන පරිදි, එමෙන්ම තම පවුල් පරිසරය පිලිබඳවද සිතමින් තම හැසිරීම් රටා හැඩගස්වා ගන්නියක වූ බැවිනි.
චූටි මැණිකේ නිවසින් දුරස් වීම, ඇයව හදාවඩා ගත් සෝමාවතියට නම් තරමක දුකක් එක්කර තිබිණි. මාපිය යුවළටද තම එකම දියණිය කෙටි කලකට හෝ දුරස්වීම දුකක් ගෙනදුන් නමුත් ඔවුන් දෙදෙනාම එය නොපෙන්වා කටයුතු කළේ දියණියගේම පහසුව සලකමිනි. දහවල නිවසින් පිටත්වූ පිරිස කේශිලාගේ නිවසට යනවිට දහවල් දෙක පමණ විය.
"කොයි ගේ ද අප්පච්චී.."
ත්‍රීවීලරයෙන් බසිමින්, විහඟිනී විමසුවේ පියා සහ මව පෙර දිනෙක එම නිවසට පැමිණ තිබූ හෙයිනි.
"ආහ්.. අර ගේද.."
මිදුලට බැස සිනාමුසුව සිටිනා තම මිතුරියත්, ඇයගේ මවත් දුටු විහඟිනී තම අලුත් නවාතැන හඳුනාගත්තාය.
"එන්න එන්න, අපි ඒත් බැලුවා පරක්කු මොකද කියලා"
විහඟිනීගේ මව ළබැඳිව ඔවුන්ව පිළිගත්තාය.
"වාඩිවෙන්න, දූ නම් ඉතින් අදමනේ ආවේ, පොඩි දුව, තාත්තිට කතාකරන්න"
සතුටු සාමීචියෙන් ගෙවීගිය මඳ වේලාවකට පසු ඔවුහු එහිදී දිවා ආහාරය ගත්හ.
"අපේ පුතත්, ලබන සතියෙ ඉඳන් කෝස් එකකට යනවනේ, එයාටත් එහේ නවතින්න වෙනවා"
"දුව කිව්වා අපිටත්, ඒක හොඳයි, ඉගෙනගන්න කාලෙ අපතෙ නොයවා"
විහඟිනීගේ ආගමනයත් සමගම වාගේ, කේශාල්ට නිවසින් පිටත්වන්නට සිදුව තිබූයේ ඔහු හදාරන්නට බලාපොරොත්තුවෙන් සිටි පාඨමාලාවක් ඉන්පසු සතියේ ආරම්භ වන්නට යෙදී තිබුණු හෙයිනි.
සවස තේ පානයෙන් අනතුරුව, විහඟිනීගේ දෙමවිපියන් පිටත්වූයේ, ඇයට තරමක දුකක් මෙන්ම පාළුවක්ද දනවමිනි. නමුත්, එය ඒ ඇසිල්ලේම දුරුකරලන්නට මිතුරිය පමණක් නොව, ඇගේ පවුලේ අයද ඇය අසළම විය.
"දූ ඔයා උදව්වෙන්න විහඟිගේ පොත් අස්කරගෙන එයාගෙ කාමරේ හදාගන්න"
"යමු විහඟි, එන්න, මේ කාමරේ හොඳයි නේද? මම ඉන්නෙත් එහා කාමරේනෙ"
විහඟිනීට තනි කාමරයක් ලැබී තිබිණි.
"මේ කාමරේ ඉස්සෙල්ල හිටියෙ අපේ අයියා, එයා අනිත් කාමරේට ගියා."
විහඟිනීට උදව් වන අතරතුර කේශිලා කියවන්නට වූවාය.
"ඔයාට තනියම නිදාගන්න බයද දූ"
කේශිලාගේ මවද ඔවුනට එක්වූවාය.
"නැහැ ආන්ටි"
"බයනම් ඔයා කේශිලාගෙ කාමෙරේට යන්න"
විහඟිනී සිනාමුසුව හිස වැනුවාය.
"ඔයා කන්නෙ නැති කෑම එහෙම තියෙනවද දූ?"
ඇය, තම දියණියට තරමටම විහඟිනීටද කාරුණික වූවාය.
"ම්.. එහෙමම නැහැ ආන්ටි"
"එහෙම මොනාහරි තියෙනවම් කියන්න දූ, එන්න, කන්න යමු අපි"
"යමු විහඟි"
"බෙදාගෙන කන්න දුව, මේ තියෙන්නේ ඔයාගෙ පිඟානයි කෝප්පෙයි"
කේශිලාගේ මව, සරලා විහඟිනීට වෙන්වූ දෑ පෙන්වා දුන්නාය.
"අද ඉඳන් ඉතින් ගෙදර කියලා හිතලා ඉන්න."
කෑම බෙදාගත් ඔවුන්, ඉදිරිපසට ගියේ, කේශාල්, පියා හා කතාබහ කරමින් රූපවාහිනියේ පුවත්ද බලමින් ආහාර ගෙන අවසන් කළේ, නැවතත් ටික වේලාවක් ටෙලිනාට්‍ය නරඹමින් සිටියෝය.
"හෙට ඉඳන් පාඩම් කරන්න, තාම දුවට මෙහේ හුරුත් නැහැ නේ"
කේශිලාගේ පියා වූ සමරසිංහ මහතාද විහඟිනීගේ ගතිපැවතුම් කෙරෙහි පැහැදී සිටියේය.

රාත්‍රිය එළඹෙද්දී විහඟිනී තම නව නිවහනේ නිදන්නට සූදානම් වූයේ හෙටින් ඇරඹෙනා නව කාලපරිච්චේදය පිළිබඳ සුභ සිහින දකිමිණි.

Tuesday, January 14, 2014

නීල නිලඹර { 06 කොටස }





"අද හවස ක්ලාස් ඉන්නවද විහා?"

"ඔව් කේශි, ඔයා ඉන්නවා නේද? ගෙදර ගිහින්ද එන්නේ?"
"නැහැ. වෙලා මදි, මෙහෙමම ඉන්නවා"
විහඟිනීටත් කේශිලාටත් එදින සවස පංති යෙදී තිබුණා. ඔවුන්ගේ මේ කතාබහ යෙදුනේ පාසල් විවේක කාලයේදීයි. මේ වනවිට නවක වදයද බොහෝ දුරට මගහැරී තිබුනෙන්, ඔවුන් නිදහසේ පාසල් භූමියේ සැරිසැරුවා.
"විහා, නිම්සර අයියා ඔයාලගෙ කවුද? නෑදෑයොද?"
තරමක් දුරින් සිටි නිම්සරව දුටු කේශිලා, තම මිතුරියගෙන් ඒ පිළිබඳව විමසූයේ ඇය ඒ වනවිටත් නිම්සර පිළිබඳව වැඩි යමක් කේශිලාට පවසා නොතිබූ හෙයින්.
"ඔව්, නෑදෑයො"
විහඟිනී කෙටි පිළිතුරකින් නිම්සර පිළිබඳ කතාව හමාර කළා.

                                                   *            *            *           *

පාසල් කාල වේලාවෙන් පසුව, අමතර පංතිය වෙත ගියද, යෙහෙළියන් දෙදෙනාගෙන් කෙනෙකුවත් කෑම ගෙනැවිත් තිබුනේ නැහැ.
"ක්ලාස් පටන්ගන්න වෙලා තියෙනවනේ කේශි, කූල් ස්පොට් එකට ගිහින් මොනවහරි කාල එමුද?"
කේශිලා විහඟිනී සමග පංති කාමරයෙන් පිටතට පැමිණියා. දෑත් පටලවාගෙන පාර මාරු වූ යෙහෙළියන් දෙස බලාසිට, ඔවුන් පිටුපස පැමිණි අයෙක් ඔවුන් දෙදෙනාට තරමක් පිටුපසින් කූල් ස්පොට් වෙත ගොඩවූවා.
"ඇයි කේශි?"
මිතුරියගේ නොස්න්සුන් බවක් දුටු විහඟිනී ඇගෙන් විමසුවේ කෙටි ආහාරය අතට ගනිමින්.
"හිරූෂ අයියා.."
කේශිලා පැවසුවේ ඉදිරියෙන් පැමිණෙන තැනැත්තා දෙස බලමින්.
"හායි කේශි බබා..,"
හිරූෂ අනාරාධිතවම කේශිලා අසළ වූ අසුනට වූවා.
කේශිලා දෙස බලූ විහඟිනී, ඇයටත් ඔහුටත් කතාබහ කරන්නට ඇවැසි වන්නට ඇති බව සිතූයෙන්, තම අසුනින් නැගිට ගොස්, මයිලෝ පැකට්ටුවක්ද රැගෙන පාර දෙසට වන්නට ඉදිරියෙන්ම තිබූ අසුනක හිඳගත්තාය.
හිස් වූ මයිලෝ පැකට්ටුව කසළ බහාලයනයට එක්කළ ඇය හැරී තම මිතුරිය දෙස බැලූයේ, නමුත් ඇය බලාසිටියේ අනෙක්පස වු ඔහු දෙසය. ඇගේ බැල්ම දුටු ඔහු, ඇය හා සිනාසුනෙන් ඇය මඳ සිනහවක් මුවට එක්කරගත්තාය. ඔහු, කේශිලාට ඇයව පෙන්වා නැගී සිටිනු දුටුවෙන්, ඇයද යා යුතු බව අඟවමින් නැගී සිටියාය.
"මං යනව බබා. කෝල් කරන්නම් හවසට"
කේශිලාට පැවසූ ඔහු, විහඟිනීටද කුඩා සිනහවක් තිළිණ කළේ, ඔහුගේ පාපැදියට නැගී අනෙක් පසට විය.
"ගයාලට එහෙම කියන්නෙපා විහා.."
මඳ දුරක් පැමිණි කේශිලා තම මිතුරියට කීවාය.
"පිස්සුද බං, වරෙන් ඉක්මනට, සර් ඇවිත් වගේ"
පැය තුනක් පුරාවට ගෙවීගිය කාලය අවසන්කළ ඔවුන්, දෑත් පටලවා යළිත් මාවතට පැමිණියේ,
"ඔයා යන්න රෑ වෙයිද විහා?"
"ම්.. මන්ද කේශි.."
"හෙට එනවද එහෙනම්..?"
"ඔව් විහා, අපි ටිකක් දවල්වෙලා එන්නම්, කෝකටත් මං හෙට කෝල් එකක් දෙන්නම්කො"
"හා. හෙට තාත්තිත් ගෙදර ඉන්නවා කිව්වා"
 ගමනාගමනයෙහි අපහසුව හේතුවෙන්, විහඟිනී, පාසැල් යාම සඳහා තම මිතුරියගේ නිවසෙහි නතරවන්නට සූදානම් වූවාය. ඇයගේ දෙමවුපියන්ද, තම දියණියගේ පහසුව සැලකූයේ, කේශිලාගේ දෙමවිපියන්ද තරමක් දුරට ඒ වනවිට හඳුනාගෙන සිටියෙන් ඒ සඳහා එකඟවිය.

Friday, January 3, 2014

මතකයෙන්..




දුරකථනය හරහා, මුහුණු පොත හරහා හෝ.. නුඹව හමුවීමෙන්.. පවසන්නට නොහැකි දෑ.

දන්නවාද නුඹ.., මා තවමත් නුඹට ආදරය කරනා වග. නොදැනෙනවා ඇති, නොහැඟෙනවා ඇති නුඹට, ඒ අතීතය මා තවමත් ජීවත්කරවනා වග. දෑඟිලි පටලා ආ ගිය මගතොට, සිනහසෙමින්-ආදරයෙන් පෙම්බස් මිමිණූ තැන් තවමත් එලෙසම වත්දී, අතීතය මියයන්නේ කෙසේද..?

අමතක කරලන්නට වෙරදරද්දී, සිහිනයෙන් හෝ පැමිණ මතකය අවදිකරලන නුඹ, සැබෑ ලොව මා හැරගිය අපූරුව. තරහක් නෑ. තවමත්.. ආපසු එනතුරා බලා හිඳිනවා හැර.

ආදරෙයි මම නුඹට. වචනයෙන් විස්තර කළ නොහැකි තරම්. දැන සිටියේ නැහැ මමත්, මෙතරම් නුඹට ආදරය වග. ඉතිං.. නුඹ කෙලෙස දැන සිටින්නද..

මතකද නුඹට.. නුඹේ  ඔය ගැඹුරු දෑස් දෙස මා බලා හුන් අයුරු. ඒ දෙනෙත් දෙස බලා, මා නුඹ ගැන සිතූ තරම්. මා නුඹේම වගට ඒ දෑසට ප්‍රතිඥා දුන් බව, නුඹ කිසිදිනෙක නොසිතන්නට ඇති. ඒ ගැඹුරු දෙනයනට නොහැඟෙන්නට ඇති.

නුඹේ දෑතෙහි පැටලී, මේ භවය පුරා පමණක් නොව, මතු සසරත් එක්ව වසන්නට පෙරුම්දම් පිරූ මා, නුඹේ දෑතින් ගිලිහී ගිය අයුරු..

නුඹත් මාත් එක්ව ගිය මග තොට මතකයන්.. දිවිය පුරා පමණක් නොව සසර පුරාවටම ඒ මතකයන් මා අවදි කරාවි.

නුඹේ ඔය පපුතුරට තුරුළු වී, නුඹේ හද ගැහෙන රාවය අසා සිටි මට.., කවුරුන් කෙසේ කීවත්, තවකෙකු හද ගැහෙන රාවය, ඇසිය හැකිද..

මං ආදරෙයි නුඹට.. අදට.. හෙටට., පමණක් නොව, ගිණිය නොහැකි කාලයකට.

බලා සිටිමි මම, යළිත් නුඹ එනතුරා.. මගේම වන්නට.