Friday, August 29, 2014

ආදරෙයි තවමත්



                                                දවසින් දවස ගෙවිල ගිහින් අවුරුද්දක්ම ගෙවිල ගියා. අමතක වෙලා නැහැ මට. අමතක කරල නැහැ මම. දන්නවද..? තවමත් ආදරෙයි. තවමත් බලාගෙන ඉන්නවා. කවමදාකවත් හැබෑ නොවෙන  හීනයක්ද දන්නෙ නැහැ මම. ඒත්.. මේ ආදරේ එහෙමමයි.

දාල ගියපු දවසෙ ඉඳන් අවුරුද්දක්ම ජීවත්වුනා, මම කියල කෙනෙක් නැහැ වගේ. ඒත්, ආදරේ ජීවත්කරවන්න මම ජීවත්වෙන්න ඕනිනම්..?

ඔයාට මතකද? ඔයා මාව දාල ගියොත් මුළු කාමරේම ඔයාගෙ ෆොටෝස් වලින් පුරවගෙන තනියමම ඉන්නවා කිව්වා මම.

මේ ආදරේ හීනයක් අප්පච්චියෝ. තවමත්.. ඒ හීනෙන් ඇහැරිලා නැහැ මම. ඇහැරෙන්න බැහැ මට. හීනෙන් හරි ඔයා ඇවිත් මාව ඒ හීනෙ ඇතුළටම ඇදගෙන යනවා. තව කොච්චර කල් මෙහෙම ඉන්නද මම.

මම දන්නැහැ. මෙච්චර කල් ගෙවිල ගිහිල්ලත් මට මේ හැමදේම ඊයෙ පෙරේද වෙච්ච දේවල් වගේ.

ආසයි ආයෙත් පිස්සුවෙන් වගේ ආදරේ කරන්න, ඒත් කොහොමද.? ළංවෙන හැම කෙනෙක්ගෙන්ම මං ඔයාව හොයද්දි..?

ආයිත් ජීවිතේ පටන්ගන්නෙ කොහෙන්ද කොතනින්ද කියල තේරෙන්නෙ නැහැ මට. මගේ හැම හුස්මකම ජීවත්වුණු ඔයා නැතිව යත්දි.

දවසක් ඔයාගෙ යාළුවෙක් ආවා මං වැඩ කරන තැනට. දන්නෙ නැහැ, දැක්කෙ නැහැ, අඳුරන්නෙ නැහැ වගේ හිටියට. මතකයිද මුල්ම දවස්වල ඔයා මාව ක්ලාස් එකට දාන්න යද්දි බස් එකේ පිටිපස්සෙ සීට් එකක ඉඳන් 'හැපි හනිමූන්' කියල msg කරපු පිස්සු යාළුවව.

මං ඒ අතීතෙත් එක්ක තාමත් ජීවත්වෙනවා. කවදහරි ඔයා ආයෙමත් එයි කියල බලාගෙන. හරිද වැරදිද මං දන්නෙ නැහැ. අදට.. හෙටට.. හමදාටම ආදරෙයි මං.

Wednesday, April 16, 2014

නීල නිලඹර { 13 කොටස }


දහවල් ආහාරයෙන් පසු විහඟිනී තම නවාතැන්පළට යාමට සූදානම් වූයේ පසුදින පාසැල් යා යුතු වීමද නිසාවෙනි. සවස්වන්නට පෙර යාමට සිතූ ඇය දහවල් දෙක පමණ වත්දී දෙමවුපියන්ගෙන් සමුගත්තාය. නගරයට පැමිණි ඇය මිතුරියගේ නිවසට යෑමට බස්රියකට නැගුණාය. තරමක සෙනගක් වූයෙන් ඇයට අසුන්ගන්නට නම් නොහැකි විය. පිටුපස දොරට ඉදිරිපස  වූ අසුනක් අසළ සිටි ඇයගේ දෑස් මවිතයෙන් පුළුල් වූයේ බසය ගමන් අරඹනවාත් සමගම එයට නැගුණු හිරූෂගේ දසුනෙනි.
"විහඟි.., ක්ලාස් ද?"
ඇය අසළට පැමිණි හිරූෂ විමසීය.
"නැහැ අයියේ. කේශිලාට නම් ක්ලාස්. එයා මේ වෙලාවෙ ක්ලාස් එක ළඟ ඇති මං හිතන්නේ"
"ආ.. ඔයාට ක්ලාස් නැත්ද අද?"
ඔහු නැවතත් විමසුවේය. ඇය නැතැයි කියන්නට හිස සොළවා නිහඬ වූයේ සිතේ තරමක නොසන්සුන් බවක්ද පැවති හෙයිනි. විහඟිනී අසළින් මෑත් වූ හිරූෂ, පළමුවන නැවතුමේදීම බැසගත්තේය. ඔහු නැවතත් මිතුරිය හමුවෙන්නට යනු ඇතෙයි විහඟිනී සිතුවාය.
ඇය කේශිලාගේ නිවසට යනවිට කේශාල් මිදුලේ සිටම ඇය එන මග බලා සිටියේය.
"විහඟිනී.. "
"කවදද ආවෙ කේශාල්?"
ඇය මිදුලේම නතර වී කතාබහට මුලපිරුවාය.
"ඊයෙ. මං එද්දි ඔයා ගෙදර ගිහින් නෙ"
විහඟිනී මඳ සිනහවකින් යුතුව ඔහු දෙස බැලුවාය.
"නංගි නම් ක්ලාස් ගියා. අම්මත් ටවුන් ගියා. මං නැන්දලෑ ගෙදරට යන්න කියලා හැදුවේ"
"ආ කමක්නැහැ. ඔයා ගිහින් එන්න කේශාල්"
ඇය පැවසුවේ ගෙට ගොඩවෙමිනි.
"ඔයා ඉන්නෙ පිටිපස්සෙ නම් ඉස්සරහ දොර වහන්න විහඟි. මම ගිහින් එන්නම්"
තවත් මඳ වේලාවක් රැඳුනු කේශාල් එසේ පවසා නික්ම ගියේය.
නා අහවරව සැහැල්ලු ගවොමකට මාරු වූ විහඟිනී ඉදිරිපස දොර විවර කළේ, පොතක්ද රැගෙන ඉදිරිපස මිදුලෙහි වූ බංකුව වෙත ගියාය. ඇයට වාඩිවෙන්නටවත් වෙලාවක් නොතබාම දුරකථනය හඬනගන්නට වූයෙන් පොත බංකුව මත තැබූ ඇය, දුරකතනය වෙත ගියාය.
"හෙලෝ.."
"හෙලෝ, මට කේශාල්ට කතාකරන්න පුළුවන්ද"
"ආ.. කේශාල් නම් දැන් නැහැ නේ.තව විනාඩි දහයකින් විතර ගන්න පුළුවන්ද?"
"ඕකේ, තෑන්ක් යූ"
ඇමතුම විසනදි විය. හුරුපුරුදු හඬක් වැනි වූවත් ඇය ඒ පිළිබඳව දුර සිතන්නට නොගියාය.
මඳක් කියවන විට නැවතත් දුරකතනය නාදවිය. කරදරයක් සේ හැඟුනෙන් මඳවේලාවක් සිටිවනම සිටි ඇය නැවතත් එයට පිළිතුරු බඳින්නට සිතුවාය.
"හෙලෝ.."
"හෙලෝ, මේ විහඟිද?"
"ඔව්. කවුද මේ?"
"විහඟි, මම හිරූෂ. කේශාල් ගෙදර නැත්ද?"
"නැහැ"
"එතකොට ඔයාලගෙ ආන්ටි.."
ඔහු නැළවෙමින් කතාකරයි. විහඟිනීගේ සිතට තරහක්ද එක්විය.
"ආන්ටි නැහැ, මං කේශාල් ආවම කියන්නම් ඔයා කෝල් කළා කියලා"
එසේ පැවසූ ඇය දරකතන අතළුව තබා ගියේ නැවතත් නම් කිසිදු ඇමතුමකට පිළිතුරු නොදෙන්නට සිතමිනි.
මඳ වේලාවකින් පැමිණි කේශාල්ට, හිරූෂ දෙවරක්ම ඔහු විමසමින් ඇමතුම් ගත් බව ඇය කීවාය.
කේශාල්, විහඟිනී හිඳසිටි බංකුවේම කෙළවරක හිඳගත්තේඇයත් ඔහුත් පමණක් නිවසේ සිටියදී ඔහුට කිසිසේත්ම නිවස තුළ සිටිය නොහැකි බවද සිතමිණි.
"අපේ නංගි ඌත් එක්ක් එෆෙයා එකක් තියෙනවද විහඟි?"
ඔහු විමසුවේ විහඟිනී අත වූ පොත දෙසද බලමිනි.
"එහෙමමනැහැ කේශාල්"
ඇස් ලොකුකරගෙන ඔහුගේ මුහුණ දෙස බැලූ ඇය කීවාය.
"මහ එපා කරපු එකෙක්. අපේ එකීට කිව්වට අහන්නෑනෙ"
විහඟිනී නිහඬ වූවාය.
"නවල් එකක්ද"
ඔහු කතාව වෙනතකට හැරවූයේ, විහඟිනීගෙන් පොත ගන්නට අත ද යොමුකරමිනි.
"ඔව්"
කියූ ඈ, පොත ඔහු අත තැබුවාය.
"කියවලා මටත් දෙන්න "
අත්රින් පතර පිටුවක් දෙකක් කියවූ ඔහු එය නැවතත් විහඟිනීට දුන්නේය.
"ඔයාගෙ ක්ලාස් එක කොහොමද කේශාල්"
"හොඳයි ඉතිං. එපාවෙනව වෙලාවකට, නිවාඩු දෙන්නෙත් නෑ ඌ"
නෝක්කාඩු මුහුණක් මවාගෙන, දෑත් ඔලුවේ ගසාගෙන ඔහු කියවනා අයුරු දැකි විහඟිනී සිනහ වූවාය.
"කවදද ආයිත් යන්නේ?"
"හෙට හවස යනවා"
"කොච්චර කල් තියෙනවද තව?"
"තව මාස හතරක් විතරම තියෙනවනේ. අන්තිම ටිකේනම් වීක් එන්ඩ් වත් නිවාඩු ලැබෙන එකක් නැහැ"
කතාකරමින් උන් ඔවුන් දෙදෙනා නැගී සිටියේ කේශිලා හා සරලා එනු දැකීමෙනි.
"විහඟි, දවල්ද ආවේ?"
කේශිලා විහඟිනීගේ අතින් අල්ලාගෙන ඇයව තම කාමරයට කැඳවාගෙන ගියේ සෙස්සන්ට නොදැනෙන පරිදිය.
"මාර වැඩේනෙ බං, හවස හිරූෂ අයියත් එක්ක කතාකර කර එද්දි අම්මි ඉස්සරහටම හම්බ උනානෙ"
"ඉත්තිං.."
"අම්මිට සැක හිතුනද මංදා, ඌත් ශේප් එකේ අම්මිත් එක්ක කතාකළා"
කේශිලා විස්තර කළාය.

                                                        *            *            *           *



පාසැල් වැඩකටයුතු, අමතර පංති අතරේ සුපුරුදු පරිදි කාලය ගෙවී ගියේය. කේශාල්ද සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී නිවසට පැමිණ ගියේය. විහඟිනීලාද තරමක් කාර්‍යබහුල වූයේ අප්‍රේල් මස මුල් සතියේ වාර විභාගය පැවැත්වෙන නිසාවෙනි. එළඹුණු මාර්තු මස මුළුමනින්ම පාහේ අධයාපන කටයුතු වලට වෙන් කරන්නට පෙළඹුණු විහඟිනී එම මස ගමටද නොගියාය. ඒ අඩුව පුරවන්නට ඇගේ මවත් පියාත් විහඟිනීගේ නවාතෙන්පළට පැමිණ ගියේ ඇගේ පාඩම් වැඩවලටද බාදාවක් නොවන අයුරෙනි.

[ 14 කොටසට..]




Saturday, March 1, 2014

නීල නිලඹර { 12 කොටස }

                
                  රෑ කෑමට සෝමා ඉඳිආප්ප සහ කිරට මාළු හොද්දක් සෑදුවේ විහඟිනීගේ රුචිකත්වය දන්නා නිසාමය. ඊට අමතරව ඇය කොච්චි තලා සැර පොල් සම්බලයක්ද සෑදුවාය. විහඟිනීද රෑ කෑමට හිඳගත්තී, තම ප්‍රියතම ආහාර තිබෙනු දැක සතුටු වූවාය.
"සරලා ආන්ටි කොච්චර හොඳට ඉව්වත් මේ වගේ රහ නෑ අම්මා"
කී ඇය වෙනදාටද වඩා ආහාර ගත්තාය. එහෙයින්මදෝ වෙනදාටද තරම් වේලාවක් අවදියෙන් සිටින්නටද ඇයට නොහැකි විණි.
පොතත් රැගෙන ඇඳට ගියද නිදිමත හරස් වූ බැවින්
ඇය පොත පසෙකින් තබා, තම සුපුරුදු සයනය මත නිදන්නට සූදානම් වූවාය. උදෑසන සිට වහින්නට තැතනූ අහස දැන් නොකඩවා වැසි වස්සවන්නට පටන්ගෙන තිබුනේ අකුණු සැර වලින් විටින් විට පළාතම එළිය කරවමිණි.
පසුදා උදෑසනම විහඟිනී අවදිවන විට ඒ මහා වර්ෂාව නතර වී තිබිණි. ගස්වැල් අතරින් පෙරී එන හිරු රැස් ඇය දුටුවේ විවර කළ ජනේලයෙනි. ගෙය මිදුල අතුගාමින් මවට හා සෝමාට උපකාර කළ ඇය උදෑසන ආහාරයද අවසන් වූ පසු පොතක්ද රැගෙන නිවසට මඳක් පහළින් වූ උණ පඳුර යටට ගියේ පාඩම් කිරීමේ අරමුණෙනි.
ගලායන දොළ පහරෙහි හඬද, මඳ සුළඟට සෙලවෙන උණ ගසෙහි සිලි සිලියද, තොරතෝංචියක් නැති කුරුළු කිචිබිචියද හැරුණු විට මිනිස් කටහඬක් නම් ඇයට බාධා කිරීමට නොවීය. ටික වේලාවක් පාඩම් කරන ඇය, ටික වේලාවක් පරිසරයට සවන්දුන්නාය. කුඩා කළ සිටම මේ දොළ පහර ඇයගේ ළබැඳි මිතුරෙකු මෙන් විය.
  පැයකට වැඩි කාලයක් ගෙවීයන විට සෝමාද පැමිණ ඇය අසළින් හිඳගත්තාය.
"අම්මලා ගියාද සෝම අම්මේ?"
ඇය ඇසුවේ අම්මාත් අප්පච්චීත් දෙදෙනම එකතුව පොළට යෑම සෑහෙන කලක සිට පුරුද්දක් වූ බැවිණි.
"ඔව් චූටි මැණිකෙ. දැන් පිටත්වුනා විතරයි ඔන්න"
පොත වසා තැබූ විහඟිනී සෝමාත් සමග කතාවට එක්වූවාය. ඔවුන් දෙදෙනා සෑහෙන වේලාවක් අහළ පහළ තොරතුරු කතාකරමින් උන්හ. ගමේ නොසිටි බැවින්, විහඟිනීටද තම යහළු යෙහෙළියන් ගැන සෝමාගෙන් දැනගැනීමට තොරතුරු රැසක් තිබිණි.
"මේ අවුරුද්දට ගමේ යනව කිව්වද සෝම අම්මේ?"
විහඟිනී ඇසුවේ ඔවුන්ගේ ගම් පළාත නුවර ප්‍රදේශය වූ බැවිනි.
"තාම මොනාත් කිව්වෙ නැහැ චූටි මැණිකෙ"
"සෝම අම්මා යනවද?"
"මැණිකෙලා ගියොත් මාත් ඒ ගමන්ම යන්නයි හිතුවේ චූටි මැණිකෙ"
විහඟිනී සිනහ සී සෝමා දෙඅස බැලුවාය. ඇයද ඒ පෙදෙසින්ම මෙහි ආ තැනැත්තියකි.
විහඟිනීගේ මවත් පියාත් ඇවැස්ස නෑනා සහ මස්සිනා වූවෝය. නමුත් නිවෙස් දෙකෙන්ම එම විවාහයට කැමැත්තක් නොතිබිණි. එහෙයින් තම තනි කැමැත්තට විවාහ වූ ඔවුන් මෙහි පදිංචියට ආවේ නිවසක් කුළියට ගෙනය. උඩුනුවර මැතිණියගේ ගුරු පත්වීමද මෙම පෙදෙසට සාදා ගත් ඔවුන් පසුව ටිකෙන් ටික මෙම නිවස සාදා ගත්තේ ස්ව උත්සාහයෙනි.
මෙම ඉඩමද තරමක් අඩු මිළකට මිළදී ගැන්මට ඔවුනට හැකිවූයේ ඉඩම් හිමියා උඩුනුවර මහතාගේ මිතුරෙකු වූ නිසාත්, ඔහුට රට රැකියාවක් ලැබී ඔහු එහි යෑමත් නිසාය.
උඩුනුවර මහතාගේත්, එම මැතිණියගේත් දෙමවුපියන් මෙහි යාම් ඊම් කරන්නට පටන්ගත්තේ විහඟිනී වැඩිවිය පත්වීමත් සමගිනි. තම අත්තම්මා, එනම් උඩුනුවර මහතාගේ මවගේ මව, නොඑසේ නම් උත්පලා මැතිණියගේ පියාගේ මව පාරම්පරිකව එම පෙළපතේ දැරිවියනට හිමිවන දියමන්තියක් එබ්බ වූ  මාලයක් ඇගේ ගෙළ පැළැන්දවූ අයුරු විහඟිනීට මතකය. උඩුනුවර මහතාගේ මවට හිමිව තිබූ එය අත්තම්මා විසින් ඇගේ ගෙළ පැළැන්දුවේ, උඩුනුවර මහතාගේ පවුලෙහි ඔහුට සොයුරියන් නොසිටි නිසාවෙනි. එමෙන්ම විහඟිනීගේ ආච්චිඅම්මා හෙවත් උඩුනුවර මහතාගේ මව ඒ වනවිට දියවැඩියා රෝගය වැළඳී තරමක අසාධය තත්වයේ පසුවූවාය. පසුකලෙක ඇය මියගියද අත්තම්මා නම් තවමත් නිරෝගීව ජීවත්වන බැව් විහඟිනී සිහිකළේ ඇය දැකීමේ සිතකින්ද යුතුවයි.


Monday, February 24, 2014

නීල නිලඹර [ 11 කොටස ]



සිකුරාදා පොහොය දිනය සහ සෙනසුරාදා පැවැත්වෙන එක් පංතියක ගුරුවරයෙක් අසනීපව හුන් බැවින් විහඟිනී ඒ සති අන්තයේ නිවසට යෑමට තීරණය කළාය. වෙනදා පරිදිම උදෑසන හයට පමණ අවදි වූ ඇය මුහුණ සෝදන්නට සිතා පිටුපස මිදුලෙහි වූ ජල කරාමය වෙත පැමිණියාය. වර්ෂාවකට ආසන්න බැව් කියා පෑ අහස ඒ උදෑසනද පරිසරයට එක්කර තිබුණේ මඳ අඳුරකි. එය නොසලකා හල ඇය, මුව දොවාගෙන පැමිණියේ, නිවසට ගෙනයෑම සඳහා පාසල් පොත් කිහිපයක්ද අත් බෑගයට දමාගත්තීය.
"ඔයා ඔය ගෙදර යන්නද විහඟි..? මම හිතුව වහින්න වගේ තියෙන නිසා නවතීවි කියලා"
 උදෑසන තේ කෝප්පයද රැගෙන පැමිණි කේශිලාගේ මව විහඟිනී සමග විසිත්ත කාමරයේ අසුන්ගත්තාය.
"ඔව් ආන්ටි. යන්නම බැරි උනානේ"
විහඟිනී පැවසුවේ මසකට ආසන්න කාලයක් ගත උවද පාසල් නිවාඩු දිනයන්හිදීද යෙදෙන උපකාරක පංති හේතුවෙන් ගමට යාමට නොහැකි වීමේ සංකා ගතියෙනි.
"කීයෙ බස් එකේද යන්නෙ දූ. මං උත්පලාට කෝල් එකක් දෙන්නම්"
සරලා, උත්පලා හා සංවාදයේ යෙදෙන අතරතුර, ඉක්මනින් සූදානම් වන්නට සිතූ විහඟිනී කළු පැහැගත් ජින්සයට රෝස පැහැ ටී ෂර්ටය තෝරාගත්තාය. එහි ඉදිරිපස පැන්ඩෙකුගේ විසල් පිංතූරයකි. උරහිසින් මඳක් පහළට වන්නට වූ කොණ්ඩය එක් මිටකට වන්නට බූලක් දමාගත් ඇය, අත් බෑගයද ගෙන පාවහන් පැළඳගෙනම තම කාමරයෙන් පිටතට පැමිණියාය.
"ලැහැස්තිද දුව? කාල යන්න. පාං තියෙනවා. මං හදලා දෙන්නම්"
"එපා ආන්ටි. බඩගිනි නැහැ දැන්ම"
ඇයගේ වදන් නොතැකූ සරලා මුළුතැන්ගෙයට ගොස් පාං පෙති දෙකක් සෑදුවේ විහඟිනීද ඇයගේ දියණියක මෙන්ම වූ බැවිණි.
ඒ අතරතුර කේශිලාගේ කාමරයට ගිය විහඟිනී, තම මිතුරිය තවමත් නිදාසිටිනා බව දැක ඇයව අවදි කරන්නට තැත් දැරුවාය.
"ඒයි කේශි.. නැගිටපං බං.."
"ම්....."
කේශිලා නිදිගැට කඩමින් දෑස් හැර බැලුවාය.
"උඹ උදේම යන්නද? ඔය ලෑස්තිවෙලත් ඉවරද?"
"ඔව්. මං දැන් යන්න"
"මදැයි.. මම හිතුවෙ උඹ යද්දි මමත් ටවුන් යන්න"
"වරෙන් එහෙනම් ලෑස්තිවෙලා. මම ඉන්නම්"
"අපෝ දැන බැහැ බං. වෙන දවසක යමු"
"හ්ම්. එහෙනම් මං යනවා කේශි"
"බුදු සරණයි"
කේශිලා ඇඳේ සිටම මිමිණුවාය.
විහඟිනී, කේශිලාගේ කාමරයෙන් පිටතට පැමිණෙන විටත් ඇගේ මව විහඟිනීගේ ආහාර සූදානම් කර අහවරව තිබිණි. විහඟිනී එය විගසින් ආහාරයට ගත්තේ සිය නිවසට යෑමට සිත තුළ තිබූ ආශාව මේ වනවිට තවදුරටත් දළුළමින් තිබූ බැවිණි.
"ගෙදරට ගිය ගමන් කෝල් එකක් දෙන්න දුව"
සරලා පැවසුවේ විහඟිනී ඇයගේ දෙපා නමදිනා අතරතුරදීයි.
"හොඳයි ආන්ටි. මම ගිහින් එන්නම්"
විහඟිනී පිටුපසින්ම මිදුලට බැසි සරලා ඇය බස් රියට නැගී නොපෙනී යනතුරුම මිදුලෙහි සිට බලාසිටියාය.
බස් නැවතුම්පළ වෙත පැමිණි විහඟිනී තම ගම බලා යන බස් රථයකට ගොඩවූයේ, උදෑසන බැවින් එහි එතරම් සෙනගක් නොවූයෙන් ජනේලය අසළ අසුනක් බලා එහි හිඳගත්තාය.
"හායි විහඟි"
බස් රියෙන් පිටත සිට ඇයට ඇමතූයේ හිරූෂයි. පෙරදිනක නිම්සර පැවසූ දෑද සිහිනගාගත් විහඟිනී ඔහු හා සිනහ සී බස්රිය තුළට අවධානය යොමුකළේ ඔහු හා පිළිසඳරකට එක්වීම වැළැක්වීමේ අරමුණෙනි.
"ගුඩ් මෝනින්ග්. කොහෙද මේ යන්නේ"
ඇයගේ උත්සාහය වැරදිණි. හිරූෂ බස්‍ රියේ පිටුපස දොරෙන් නැගී ඇය අසළට පැමිණ එසේ විමසුවේ ඔහුගේ තඹ පැහැ කළ කොණ්ඩය අතින් සකසමිනි.
"ගුඩ් මෝනින්ග්"
විහඟිනී එම පිළිතුර පමණක් ලබාදුන්නාය. ඇගේ සිතේ පැවති කලබලය නවතාලමින් බස් රියෙහි රියදුරු බසය ගමන් ඇරඹුවේය.
"යන්නම් විහඟි"
හිරූෂද බසයෙන් බැසගත්තේ විහඟිනීගේ හදවතට සැනසිල්ලක් එක් කරලමිනි.
ටිකෙන් ටික නගරය පසුකරමින් ගමන්කරන බස්‍ රිය තුළට සෙනගද එකා දෙන්නා බැගින් එකතු වන්නට විය. ජනේලය විවර කරගත් විහඟිනී ඉන් පිටතට දෑස් යොමුකළේ කඳු මුදුනට ඇදෙන බස් රියෙහි කවුළුවලින් එපිට සුන්දරත්වය රිසි සේ විඳගත්තාය. සිය නැවතුමෙන් බසගත් ඇය නිවසට යන්නට වූ කෙටි මග වෙත පිළිපන්නේ, පඩිපෙල් පේළිය බැසගෙන ගියේ දුවගෙන මෙනි. 





"අම්මා... අප්පච්චී..."
ඇය මග සිටම කෑ ගැසුවාය.
"චූටි මැණිකේ.."
ඉදිරිපස මිදුලෙහි උන් සෝමාවතී දිදුලන දෑසින් යුතුව විහඟිනීගේ මවට කතාකළේ ඇයගේ පැමිණීම දැනුම් දෙන්නටය.
"චූටි දුව.."
උත්පලා, තම දියණිය වැළඳගත්තාය. මවගේ දෑස් අග කඳුළු බිඳුවක්ද දිළිසෙනු විහඟිනී දුටුවාය.
"කෝ අම්මා, අප්පච්චී?"
විහඟිනී, සිය පියාව විමසුවේ ඔහු පෙනෙන්නට නොවූ බැවිනි.
"ගීතනාත්.. මේ දුව ඇවිත්"
විහඟිනී පියාගේ තුරුළට වූයේ උරහිසේ රැඳී තිබූ බෑගයද අතට ගනිමිනි.
උත්පලා මැතිණිය සරලාගේ නිවසට කතාකර විහඟිනී පැමිණි වග දැනුම් දුන්නාය.
"දුව, වොෂ් එකක් එහෙම දාගෙන එන්න දැන්"
මව පැවසුයේ ඇය තරමක වේලාවක් පියා අසළට වී සිටි බැවිනි.
විහඟිනී ගීතයක්ද මුමුණමින් පඩිපෙළ නගින්නට වූයේ, මව සහ පියා ඇය දෙස බලාසිටියේ සිනහ මුසු මුහුණිනි. සෝමාද විහඟිනීගේ බෑගය ගෙන ඇයට පිටුපසින් වූවාය.
"චූටි මැණිකේ, ළිඳට යනවද?"
විහඟිනී තම කාමරයෙහි ඇඳේ පෙරළෙද්දී ඇය පිටුපසින්ම කාමරට ඇතුළු වූ සෝමා විමසුවාය.
"බැහැ සෝම අම්මේ. හවස නාමු එතනින්"
"එහෙනම් චූටි මැණිකෙ පහළට එන්නකො. දානෙට ලැහැස්තිවෙන්නත් තියෙනවා. මම යන්නම්."
"දානයක්..?"
යන්නට සෑදූ සෝමාව නතරකරගත් විහඟිනී ප්‍රශ්නාර්ථයකින් ඇය දෙස බැලුවාය.
"මැණිකෙට අමතකද? අර අන්ධ විද්‍යාලෙට දෙන දානෙ. හාමු මහත්තයගෙ යාළුවෙකුත් එනව කියල තිබුණා අද"
"ආහ්...."
විහඟිනී සිතිවිල්ලෙහි සිටියදී, සෝමා පිටව ගියාය.
මඳ වේලාවකින් නාන කාමරයට වැදුණු විහඟිනී සිරුර දොවාගන්නට වූයේ සවස පහළ ළිඳට ගොස් නාගත යුතු බවද සිතමිනි.
ළා කොළ පැහැති පසුබිමෙහි රතු මල් වැටුණු ගවුමකින් සැරසුණු ඇය කෙස්වැටිය ලිහා පීරන්නට වූවාය. පහළ මාළය දෙසින් කිහිප දෙනෙකුගේ කටහඬවල් අසුණි. පියාගේ මිතුරා වන්නට ඇතැයි සිතූ විහඟිනී දැන් ඉතින් තමාටද යළි පහළට යන්නට වන බව සිහි කළාය.

[ 12 කොටසට.. ]



Monday, February 10, 2014

නීල නිලඹර { 10 කොටස }



"ඕහ්.. ගිහාන්.."
අසුනින් නැගී සිටි නිම්සර මිතුරාව වැළඳගත්තේ දැඩි ළෙන්ගතුකමකිනි. අනතුරුව ගිහාන් ද නිම්සර සහ විහඟිනී අසළින් අසුන්ගත්තේය.
"ඉතින්.. ක්ලාස ද මචං"
"නැහැ බං, නංගිව ක්ලාස් එකට දාන්න ආවා"
"නංගි කිව්වේ.. මේ විහඟිනීද?"
"ඔව් මචං, විහඟිනී, මේ ගිහාන්. මතකද?"
"ම්.. ගිහාන් අයියා..."
"විහඟි නම් අඳුරන්නත් බැහැ. වෙනස්වෙලා"
"ආ ලාලනි අක්කිගෙ මල්ලි නේ"
විහඟිනීට එක්වරම ඔඅහුව මතක් විය.
"පුදුමයි. මෙයාට මාව මතක තිබුනෙත් නැහැ මුලින්ම"
නිම්සර පැවසුවේ සැබැවින්ම මඳ විස්මයකිනි.
"එහෙනම් මචං, මට පොඩි වැඩ වගේකුත් තියෙනවා. විහඟිට ක්ලාස් පටන්ගන්නවද දැන්ම"
"තව ටික වෙලාවක් තියෙනවා මචං"
"මම එහෙනම් පහළට යන්නම්. ක්ලාස් පටන්ගත්තමනේ උඹ එන්නේ?"
"ඔව් බං. මම එන්නම්. උඹ වැඩ ටික ඉවර කරගනින්"
"එහෙනම් යනවා විහඟි. බායි"
ගිහාන් අහම්බෙන් මෙන් හමු වූ තම මිතුරන්ගෙන් මඳකට  සමුගත්තේය.
විහඟිනීගේ මුහුණ දෙස බැලූ නිම්සර අතරමග නතර වූ කතාවට නැවත පිවිසියේය.
"හිරූෂ මොනාද කතාකර කර හිටියේ?"
"ම්.. විශේෂ දෙයක් නැහැ අයියා. මං හිතන්නෙ එයා කේශිව හොයාගෙන එන්න ඇති."
"කේශිලායි හිරූෂයි අතර එෆෙයා එකක් තියෙනවා කියල කිව්වද කේශිලා"
"නැහැ අයියේ. ඒත් කේශි ගෙ හිතේ තියෙනවා"
"හ්ම්... නංගෝ අනිත් අය ගැන ඕන නැහැ. ඒත් ඔයා පරිස්සමින්"
"ඇයි නිම්සර අයියේ.."
"ඔයා හිරූෂව මග ඇරල ඉන්න. ඒක වඩාත් හොඳයි. ආයිත් එහෙම තැන් තැන් වල කතා කරකර ඉඳලා අහුවෙන්නෙපා"
නිම්සර කුඩා තර්ජනයක්ද කළේ, ඒ වනවිට ගුරුවරයා සහ විහඟිනීගේ යෙහෙළියන් කිහිප දෙනෙක්ද පැමිණෙමින් සිටිනවා දුටු හෙයින් නැගී සිටියේය.
"එහෙනම් නංගො, මම යනවා. ක්ලාස් ඉවරඋනාම අරහෙ මෙහෙ රස්තියාදු නොවී ගෙදර යන්න"
නිමසර, විහඟිනීගෙන් සමුගත්තේ ඔවුනට පංති පවත්වන ගුරුවරයා සමහද මඳ වේලාවක් කතා කර යන්නට ගියේය.
"කොහෙද බං උඹ අතුරුදහන් උනේ? මං අරහෙ පනදාගෙන හොයනවා. කියල එන්න තිබුනෙ නැත්ද?"
කේශිලා දොස්නගන්නට පටන්ගත්තාය.
"ඇයි අනේ මං හිරූෂ අයියට කියලනේ ආවෙ කියන්න කියලා. කිව්වෙ නැත්ද? මේ නිම්සර අයියට මලපැනලා මාවත් ඇදගෙන ආවා"
"හිරූෂ අයියා. ඌ ඇවිත් හිටියද ලයිබ්‍රියට"
"ඈහ්.. අයි ඔයාට හම්බඋනේ නැත්ද? මං ඒත් කිව්වත්නේ ඔයා උඩට ගියා කියලා"
පංතිය ඇරඹුණු බැවින් ඔවුන්ගේ කතාබහට විරාමයක් තබන්නට දෙදෙනාටම සිදුවූයේ දෙදෙනාගේම සිත් තුළ කුතුහලයක් ඉතිරි කරමිනි.

Tuesday, January 28, 2014

නීල නිලඹර { 09 කොටස }

[01 කොටස]

[02 කොටස]

[03 කොටස]


"කොහෙද මෙච්චරවෙලා හිටියේ?"
විහඟිනී වෙත ළං වූ ඔහු ඇගෙන් ප්‍රශ්න කරන්නට වූයේ ඇගේ අයිතිකරු ලෙසිනි. නිම්සර කෝප වී වග වැටහුනු විහඟිනී ඒ කිමදැයි සිතුවේ ඇයට හේතුව වටහාගන්නට නොහැකිවය.
"මං.. පත්තර කියවන තැන හිටියෙ නිම්සර අයියේ.."
"  මම දැක්කෙ නැහැ නෙ, ආ හරි එන්න යන්න"
කිසිවක් සිතාගන්නට ඉඩක් නොමැතිවම නිම්සර විහඟිනීගේ අතින් අල්ලාගෙන හැරුණි.
"හිරූෂ අයියේ, කේශිට කියන්න"
ඇය නිම්සර සමග යමින්ම කීවේ, නිම්සරගේ ගති පැවතුම් පිළිබඳව තරමක වැටහීමක් තිබුණු බැවිණි. කේන්තිගත්විට නිමසර කලබලකාරයෙකු වග විහඟිනීලාගේ පවුලේ උදවියද කතාවූවක් විය.
"දැන් කොහෙද යන්නේ..?"
පාරට පැමිණි පසු, නිම්සර විහඟිනීගේ වමත අතහරිද්දී ඇය ඇසුවේ ඔහුගේ කලබලයටත්, හේතුවක් නොමැති කේන්තියටත් සමච්චලයට සිනාසෙමෙනි.
"හිනාවෙන්නෙ මොකද?"
නිම්සර නැවතත් රකුස් වෙස් ගත්තේය.
කිසිවක් නොපවසා ඉවත බලාගත් විහඟිනීගේ සිතෙහිද තරමක කෝපයක ඉපදිණි.
"එන්න.. යමු"
නිමසර ඈ කැටුව ගියේ මිතුරෙකුගේ මෝටර් සයිකලයක් වෙතය.
"නගින්න.."
"මේ මොකද මේ.. කොහේ යන්නද?"
විහඟිනී ගැටළු රැසකට මැදි වූවාය. නිම්සර කුමක් කරන්නට හදනවාදැයි ඇය තුළ හඟීමක් නොමැති විය.
"කිව්වම අහල නගින්න ඉතින්"
නිම්සර හිස ආවරණය පැළඳ ගනිමින් පැවසීය.
"මට බැහැ, කොහේ යන්නද? ඔයාට පිස්සුද නිම්සර අයියේ, මොකක්ද මේකෙ තේරුම?"
නිම්සර හිස් ආවරණය තුළින් විහඟිනී දෙස බැලුවේය.
"ආ මේක දාගන්න"
විහඟිනීට ද හිස් ආවරණයක් දුන්නේය.
"ඕක දාගන්න. මිනිස්සුත් බලනවා"
ඇත්තය. එවේලෙහි මග යමින් සිටි ගැහැනියක විමසිල්ලෙන් ඔවුන් දෙස බලනවා විහඟිනී දුටුවාය.
"ඇයි මේ කියන්න. කොහේ යන්නද?"
"නගින්නකො, යන ගමන් කියන්නම්"
"මට බැහැ, ඔයා මොකක්ද මේ කරන්න හදන පිස්සු වැඩේ..?"
මද වේලාවක් විහඟිනී දෙස බලාසිටි නිම්සර,
"නගින්න.. මම ඔයාව ක්ලාස් එක ගාවින් දාන්නම්"
යැයි කීවේ කේන්තිය පහකරගත් මුවිනි.
"මන්දා.. මටනම් තේරෙන්නෙ නැහැ ඔයා මේ කරන පිස්සු වැඩේ මොකක්ද කියලා"
විහඟිනී පැවසුවේ හිස් ආවරණය නිම්සරගේ අතින් ගනිමිනුයි.
"තැන් තැන්වල එක එකාත් එක්ක කයිවාරු ගහනවට වඩා හොඳයි ක්ලාස් එකට ගිහින් පොතක් බලාගන්න එක"
නිම්සර පැවසුවේ, විහඟිනී හිස් වැසුම පැළඳගනිද්දීය. ඔහු විටෙක තම සොයුරෙකු තරම් ද, විටෙක හොඳම මිතුරෙකු මෙන්ද වූ හෙයින්, හිරූෂත් සමග කතාබහ ඔහුගේ කෝපය වඩවන්නට ඇතැයි සිතාගත් විහඟිනී සැකයකින් තොරව සයිකලයට නැගුනේ ඔහු ඇයට මෙන්ම පවුලේ අයටද විශ්වාසවන්තම තැනැත්තෙකුද වූ හෙයිනි.
විනාඩි කිහිපයකින් විහඟිනීගේ පංති පවැත්වෙන ස්ථානයට ළඟා වූ නිම්සර ඇයව එතැනින් බැස්වූයේ, ඇයට පංති පටන්ගන්නට තරමක් වේලාව තිබූ හෙයින් ඇගේ තනියටද රැඳී සිටියේය.
"මං පොත ගෙනාවා"
විහඟිනී, ඔඅහු වෙතින් රැගෙන තිබූ පුස්තකාල පොත ඔඅහුට ආපසු දෙමින් කීවාය.
"ආයිත් පොතක් ගන්න ඕනද?"
"දැනට නම් නැහැ අයියේ.."
විහඟිනීට පංති පැවැත්වෙන තැන බංකුවක වාඩි වූ නිම්සර ඇයත් සමග කතාවකට මුලපුරන්නට සැරසුණි.
"අඩෝ නිම්සර.. උඹ මොකද බං මෙහේ..?"

{10 කොටසට....}

Sunday, January 26, 2014

නීල නිලඹර { 08 කොටස }



[පළමු කොටසට]

"ගුඩ් මෝනින්ග් විහඟි, ලැහැස්තිද ඔයා?"
"හරි කේශි, යමු"
"ඔයාලගෙ කෑම ඔය මේසෙ උඩ. මතක් කරලම දාගන්න"
උදෑසන එකම කලබලයකි. ලහි ලහියේ සූදානම් වූ කේශිලාත් විහඟිනීත්, සරලාගේ දෙපා වැඳ පිටත්වූහ.
"මම හැමදාම යන්නෙ මේ බස් එකේ, මේක මෙතනට එනවා හත විතර වෙද්දි"
කේශිලා, මිතුරියට පැවසුවේ බස් රියට නැගුණු පසුවයි. හතයි පහළොව පමණ වනවිට ඔවුනට පාසලට යා හැකිවිය.
"විහඟි.."
ඒ නිම්සරගේ හඬයි.
"ආ නිම්සර අයියේ, ගුඩ් මෝනින්ග්"
ඒ වනවිට පවුල් දෙක අතර වූ මිත්‍රත්වය හේතුවෙන් නිම්සරත් විහඟිනීත් හොඳම මිතුරන් බවට පත් වී සිටියෝය. එපමණක්ද නොව, ඔවුන් කුඩා කලද එක්ව වැලිබත් ඉවූවන් විය. විහඟිනී කුඩාකල හෙයින් ඇයට මතකයට නගාගත නොහැකි වූවද නිම්සරට නම් ඒ අතීතය හොඳින්ම මතකයේ රැඳිණි.
"ගුඩ් මෝනින්ග්, අද කේශිලාගේ ගෙදර ඉඳන්ද ආවෙ?"
ඇය හිස සැලුවාය.
"හවස ක්ලාස් ද අද?"
"නැහැ අයියේ"
"හෙට..?"
"හෙටනම් ක්ලාස්, ඇයි නිම්සර අයියේ?"
"කීයටද?"
"ම්.. හතරට විතර. ගෘප් ක්ලාස් එක"
"හතරට විතර.."
නිම්සර මඳක් කල්පනා කළේය.
"වේලාසන එන්න පුළුවන්ද.. ලයිබ්‍රියට?"
"හා, මං එන්නම්, තුනට විතර"
විහඟිනීට, මහජන පුස්තකාලයේ සාමාජිකත්වය නොතිබිණි. එහෙයින් ඇය තමාට ඇවැසි වූ පොත ලබාගත්තේ නිම්සරගේ සාමාජිකත්වයෙනි. ඇයට කිසියම් පොතක් අවශ්ය‍ වූ විට ඇය එය නිම්සරට කියා ගෙන්වා ගත්තාය.

පසුදින පාසල් ඇරී නිවසට ගිය මිතුරියන් දෙදෙනා, පුස්තකාලයටද යා යුතු වූයෙන් පංතිය පටන්ගන්නට තරමක් කාලය තිබියදී නිවසින් පිටත්වූයේ, තුන පමණ වනවිට පුස්තකාලය වෙත පැමිණියෝය.
"විහඟි, මම විමර්ෂන එකට යනවා. ඔයා එනවද?"
"බැහැ කේශි, නිම්සර අයියා ඒවි දැන්"
විහඟිනී, නිම්සර පැමිණෙන තෙක් පුවත්පත් අතර සරමින් සිටියාය. සති අන්ත පුවතපතක් වූ කෙටිකතාවක් දුටු ඇය, එය කියවන්නට පටන්ගත්තේ, සිත එය වෙතම නැඹුරුව තිබිණි. එක්වරම ඇගේ දෑස් වැසුනේ කිසිවෙකුගේ දෑතකිනි. නිම්සර විය නොහැකිය..
"අත ගන්නකෝ, කවුද..?"
පුස්තකාලය තුළ බැවින් ඇය මද ස්වරයකින් විමසුවාය.
සිනාසෙමින් ඇගේ වම්පස වූයේ හිරූෂය. සිනහ මුවින්ම  ඇය අත වූ පුවත්පත ගත්තේ, එය පෙරළමින්, විහඟිනී දෙස බැලුවේය.
"කේශිලා විමර්ෂන එකට ගියා අයියේ"
හිරූෂ කිසිවක් විමසන්නට පෙරම, විහඟිනී ඔහුට කීවාය.
"ආ.. ඔයා ඉතිං මෙතන.? ක්ලාස් නැත්ද අද?"
 "හවස.."
විහඟිනී පිළිතුරු දුන්නේ, ඔහු කේශිලා සොයා නොයන්නේ මන්දැයි සැකයෙන් යුතුවමය. කේශිලාව සොයන්නට නොගිය ඔහු, එහිම හිඳ පුවත්පතක් බලන්නට වුයේය.
තවත් මඳ වේලාවක් රැඳී සිටි විහඟිනී, නිම්සර එතෙක්ම නොපැමිණියෙන්, ඔහු සොයන්නට පුස්තකාල ගොඩනැගිල්ලෙන් බැහැරට පැමිණියාය. ඇය මඳ වේලාවක් පාර දෙස බලමින් සිටියදී, හිරූෂද ඇය වෙතට පැමිණියේය.
"මොකද මෙතන තනියම, කාවද හොයන්නේ"
"ආ හිරූෂ අයියා.. ඇයි ඔයා කේශිලා එක්ක තරහවෙලාද?"
විහඟිනී සිනාමුසුව විමසුවේ, ඔහු මිතුරිය වෙතට නොයෑම පිළිබඳව වූ සැකයටත් වඩා ඔහු නැගූ පැනය මගහැරීමටයි.
"විහඟි.."
විහඟිනීගේ පිටුපසින් තරමක් උස්ව නැගුනේ නිම්සරගේ කටහඬයි. හිස හරවා ඈ එදෙස බලනවිට කෝපගත් දෙඇසින් විහඟිනී දෙස බැලූ ඔහු වේගයෙන් ඇය වෙතට පැමිණියේය.

Wednesday, January 15, 2014

නීල නිලඹර { 07 කොටස }



පසුදින පොහොය දිනයක් වූයෙන් පාසැල් නිවාඩු දිනයක් වී තිබුණා පමණක් නොව, විහඟිනීට සහ කේශිලාට අමතර පංති යෙදී තිබුණේද නැත. එබැවින්, උඩුනුවර වලව්වේ වැඩිහිටියන්, තම දියණියව ඇගේ මිතුරියගේ නිවසට හැරලීම සඳහා එදින යොදාගත්හ.
විහඟිනීගේ ඇඳුම්, පොත්පත් ඇසිරීම සඳහා උත්පලා මැතිණියද ඇයට සහාය වන්නට වූයේ,
"අප්පච්චි කීයට විතරද අම්මා යනවා කිව්වේ?"
"අපි ටිකක් දවල්වෙන්න වගේ යමු දූ, එකට විතර"
"පොත් ගොඩක්නේ අම්මා"
"ඔයාගෙ පොත් නම් සේරම දාගන්න දුව මතක්කරලම, පාඩම් කරද්දි කරදරයක් වෙනව නැත්නම්"
"හරි අම්මා, ඒ සේරම දැම්මා."
ආගන්තුක නිවසක හැසිරෙන අයුරු පිළිබඳ තම දියණියට විශේෂයෙන් උපදෙසක් දීමට උත්පලා මැතිණියට නම් ඇවැසි වූයේ නැත. මන්දයත්, ඇය කිසිවෙකුට අවහිරයක් නොවන පරිදි, එමෙන්ම තම පවුල් පරිසරය පිලිබඳවද සිතමින් තම හැසිරීම් රටා හැඩගස්වා ගන්නියක වූ බැවිනි.
චූටි මැණිකේ නිවසින් දුරස් වීම, ඇයව හදාවඩා ගත් සෝමාවතියට නම් තරමක දුකක් එක්කර තිබිණි. මාපිය යුවළටද තම එකම දියණිය කෙටි කලකට හෝ දුරස්වීම දුකක් ගෙනදුන් නමුත් ඔවුන් දෙදෙනාම එය නොපෙන්වා කටයුතු කළේ දියණියගේම පහසුව සලකමිනි. දහවල නිවසින් පිටත්වූ පිරිස කේශිලාගේ නිවසට යනවිට දහවල් දෙක පමණ විය.
"කොයි ගේ ද අප්පච්චී.."
ත්‍රීවීලරයෙන් බසිමින්, විහඟිනී විමසුවේ පියා සහ මව පෙර දිනෙක එම නිවසට පැමිණ තිබූ හෙයිනි.
"ආහ්.. අර ගේද.."
මිදුලට බැස සිනාමුසුව සිටිනා තම මිතුරියත්, ඇයගේ මවත් දුටු විහඟිනී තම අලුත් නවාතැන හඳුනාගත්තාය.
"එන්න එන්න, අපි ඒත් බැලුවා පරක්කු මොකද කියලා"
විහඟිනීගේ මව ළබැඳිව ඔවුන්ව පිළිගත්තාය.
"වාඩිවෙන්න, දූ නම් ඉතින් අදමනේ ආවේ, පොඩි දුව, තාත්තිට කතාකරන්න"
සතුටු සාමීචියෙන් ගෙවීගිය මඳ වේලාවකට පසු ඔවුහු එහිදී දිවා ආහාරය ගත්හ.
"අපේ පුතත්, ලබන සතියෙ ඉඳන් කෝස් එකකට යනවනේ, එයාටත් එහේ නවතින්න වෙනවා"
"දුව කිව්වා අපිටත්, ඒක හොඳයි, ඉගෙනගන්න කාලෙ අපතෙ නොයවා"
විහඟිනීගේ ආගමනයත් සමගම වාගේ, කේශාල්ට නිවසින් පිටත්වන්නට සිදුව තිබූයේ ඔහු හදාරන්නට බලාපොරොත්තුවෙන් සිටි පාඨමාලාවක් ඉන්පසු සතියේ ආරම්භ වන්නට යෙදී තිබුණු හෙයිනි.
සවස තේ පානයෙන් අනතුරුව, විහඟිනීගේ දෙමවිපියන් පිටත්වූයේ, ඇයට තරමක දුකක් මෙන්ම පාළුවක්ද දනවමිනි. නමුත්, එය ඒ ඇසිල්ලේම දුරුකරලන්නට මිතුරිය පමණක් නොව, ඇගේ පවුලේ අයද ඇය අසළම විය.
"දූ ඔයා උදව්වෙන්න විහඟිගේ පොත් අස්කරගෙන එයාගෙ කාමරේ හදාගන්න"
"යමු විහඟි, එන්න, මේ කාමරේ හොඳයි නේද? මම ඉන්නෙත් එහා කාමරේනෙ"
විහඟිනීට තනි කාමරයක් ලැබී තිබිණි.
"මේ කාමරේ ඉස්සෙල්ල හිටියෙ අපේ අයියා, එයා අනිත් කාමරේට ගියා."
විහඟිනීට උදව් වන අතරතුර කේශිලා කියවන්නට වූවාය.
"ඔයාට තනියම නිදාගන්න බයද දූ"
කේශිලාගේ මවද ඔවුනට එක්වූවාය.
"නැහැ ආන්ටි"
"බයනම් ඔයා කේශිලාගෙ කාමෙරේට යන්න"
විහඟිනී සිනාමුසුව හිස වැනුවාය.
"ඔයා කන්නෙ නැති කෑම එහෙම තියෙනවද දූ?"
ඇය, තම දියණියට තරමටම විහඟිනීටද කාරුණික වූවාය.
"ම්.. එහෙමම නැහැ ආන්ටි"
"එහෙම මොනාහරි තියෙනවම් කියන්න දූ, එන්න, කන්න යමු අපි"
"යමු විහඟි"
"බෙදාගෙන කන්න දුව, මේ තියෙන්නේ ඔයාගෙ පිඟානයි කෝප්පෙයි"
කේශිලාගේ මව, සරලා විහඟිනීට වෙන්වූ දෑ පෙන්වා දුන්නාය.
"අද ඉඳන් ඉතින් ගෙදර කියලා හිතලා ඉන්න."
කෑම බෙදාගත් ඔවුන්, ඉදිරිපසට ගියේ, කේශාල්, පියා හා කතාබහ කරමින් රූපවාහිනියේ පුවත්ද බලමින් ආහාර ගෙන අවසන් කළේ, නැවතත් ටික වේලාවක් ටෙලිනාට්‍ය නරඹමින් සිටියෝය.
"හෙට ඉඳන් පාඩම් කරන්න, තාම දුවට මෙහේ හුරුත් නැහැ නේ"
කේශිලාගේ පියා වූ සමරසිංහ මහතාද විහඟිනීගේ ගතිපැවතුම් කෙරෙහි පැහැදී සිටියේය.

රාත්‍රිය එළඹෙද්දී විහඟිනී තම නව නිවහනේ නිදන්නට සූදානම් වූයේ හෙටින් ඇරඹෙනා නව කාලපරිච්චේදය පිළිබඳ සුභ සිහින දකිමිණි.

Tuesday, January 14, 2014

නීල නිලඹර { 06 කොටස }





"අද හවස ක්ලාස් ඉන්නවද විහා?"

"ඔව් කේශි, ඔයා ඉන්නවා නේද? ගෙදර ගිහින්ද එන්නේ?"
"නැහැ. වෙලා මදි, මෙහෙමම ඉන්නවා"
විහඟිනීටත් කේශිලාටත් එදින සවස පංති යෙදී තිබුණා. ඔවුන්ගේ මේ කතාබහ යෙදුනේ පාසල් විවේක කාලයේදීයි. මේ වනවිට නවක වදයද බොහෝ දුරට මගහැරී තිබුනෙන්, ඔවුන් නිදහසේ පාසල් භූමියේ සැරිසැරුවා.
"විහා, නිම්සර අයියා ඔයාලගෙ කවුද? නෑදෑයොද?"
තරමක් දුරින් සිටි නිම්සරව දුටු කේශිලා, තම මිතුරියගෙන් ඒ පිළිබඳව විමසූයේ ඇය ඒ වනවිටත් නිම්සර පිළිබඳව වැඩි යමක් කේශිලාට පවසා නොතිබූ හෙයින්.
"ඔව්, නෑදෑයො"
විහඟිනී කෙටි පිළිතුරකින් නිම්සර පිළිබඳ කතාව හමාර කළා.

                                                   *            *            *           *

පාසල් කාල වේලාවෙන් පසුව, අමතර පංතිය වෙත ගියද, යෙහෙළියන් දෙදෙනාගෙන් කෙනෙකුවත් කෑම ගෙනැවිත් තිබුනේ නැහැ.
"ක්ලාස් පටන්ගන්න වෙලා තියෙනවනේ කේශි, කූල් ස්පොට් එකට ගිහින් මොනවහරි කාල එමුද?"
කේශිලා විහඟිනී සමග පංති කාමරයෙන් පිටතට පැමිණියා. දෑත් පටලවාගෙන පාර මාරු වූ යෙහෙළියන් දෙස බලාසිට, ඔවුන් පිටුපස පැමිණි අයෙක් ඔවුන් දෙදෙනාට තරමක් පිටුපසින් කූල් ස්පොට් වෙත ගොඩවූවා.
"ඇයි කේශි?"
මිතුරියගේ නොස්න්සුන් බවක් දුටු විහඟිනී ඇගෙන් විමසුවේ කෙටි ආහාරය අතට ගනිමින්.
"හිරූෂ අයියා.."
කේශිලා පැවසුවේ ඉදිරියෙන් පැමිණෙන තැනැත්තා දෙස බලමින්.
"හායි කේශි බබා..,"
හිරූෂ අනාරාධිතවම කේශිලා අසළ වූ අසුනට වූවා.
කේශිලා දෙස බලූ විහඟිනී, ඇයටත් ඔහුටත් කතාබහ කරන්නට ඇවැසි වන්නට ඇති බව සිතූයෙන්, තම අසුනින් නැගිට ගොස්, මයිලෝ පැකට්ටුවක්ද රැගෙන පාර දෙසට වන්නට ඉදිරියෙන්ම තිබූ අසුනක හිඳගත්තාය.
හිස් වූ මයිලෝ පැකට්ටුව කසළ බහාලයනයට එක්කළ ඇය හැරී තම මිතුරිය දෙස බැලූයේ, නමුත් ඇය බලාසිටියේ අනෙක්පස වු ඔහු දෙසය. ඇගේ බැල්ම දුටු ඔහු, ඇය හා සිනාසුනෙන් ඇය මඳ සිනහවක් මුවට එක්කරගත්තාය. ඔහු, කේශිලාට ඇයව පෙන්වා නැගී සිටිනු දුටුවෙන්, ඇයද යා යුතු බව අඟවමින් නැගී සිටියාය.
"මං යනව බබා. කෝල් කරන්නම් හවසට"
කේශිලාට පැවසූ ඔහු, විහඟිනීටද කුඩා සිනහවක් තිළිණ කළේ, ඔහුගේ පාපැදියට නැගී අනෙක් පසට විය.
"ගයාලට එහෙම කියන්නෙපා විහා.."
මඳ දුරක් පැමිණි කේශිලා තම මිතුරියට කීවාය.
"පිස්සුද බං, වරෙන් ඉක්මනට, සර් ඇවිත් වගේ"
පැය තුනක් පුරාවට ගෙවීගිය කාලය අවසන්කළ ඔවුන්, දෑත් පටලවා යළිත් මාවතට පැමිණියේ,
"ඔයා යන්න රෑ වෙයිද විහා?"
"ම්.. මන්ද කේශි.."
"හෙට එනවද එහෙනම්..?"
"ඔව් විහා, අපි ටිකක් දවල්වෙලා එන්නම්, කෝකටත් මං හෙට කෝල් එකක් දෙන්නම්කො"
"හා. හෙට තාත්තිත් ගෙදර ඉන්නවා කිව්වා"
 ගමනාගමනයෙහි අපහසුව හේතුවෙන්, විහඟිනී, පාසැල් යාම සඳහා තම මිතුරියගේ නිවසෙහි නතරවන්නට සූදානම් වූවාය. ඇයගේ දෙමවුපියන්ද, තම දියණියගේ පහසුව සැලකූයේ, කේශිලාගේ දෙමවිපියන්ද තරමක් දුරට ඒ වනවිට හඳුනාගෙන සිටියෙන් ඒ සඳහා එකඟවිය.

Friday, January 3, 2014

මතකයෙන්..




දුරකථනය හරහා, මුහුණු පොත හරහා හෝ.. නුඹව හමුවීමෙන්.. පවසන්නට නොහැකි දෑ.

දන්නවාද නුඹ.., මා තවමත් නුඹට ආදරය කරනා වග. නොදැනෙනවා ඇති, නොහැඟෙනවා ඇති නුඹට, ඒ අතීතය මා තවමත් ජීවත්කරවනා වග. දෑඟිලි පටලා ආ ගිය මගතොට, සිනහසෙමින්-ආදරයෙන් පෙම්බස් මිමිණූ තැන් තවමත් එලෙසම වත්දී, අතීතය මියයන්නේ කෙසේද..?

අමතක කරලන්නට වෙරදරද්දී, සිහිනයෙන් හෝ පැමිණ මතකය අවදිකරලන නුඹ, සැබෑ ලොව මා හැරගිය අපූරුව. තරහක් නෑ. තවමත්.. ආපසු එනතුරා බලා හිඳිනවා හැර.

ආදරෙයි මම නුඹට. වචනයෙන් විස්තර කළ නොහැකි තරම්. දැන සිටියේ නැහැ මමත්, මෙතරම් නුඹට ආදරය වග. ඉතිං.. නුඹ කෙලෙස දැන සිටින්නද..

මතකද නුඹට.. නුඹේ  ඔය ගැඹුරු දෑස් දෙස මා බලා හුන් අයුරු. ඒ දෙනෙත් දෙස බලා, මා නුඹ ගැන සිතූ තරම්. මා නුඹේම වගට ඒ දෑසට ප්‍රතිඥා දුන් බව, නුඹ කිසිදිනෙක නොසිතන්නට ඇති. ඒ ගැඹුරු දෙනයනට නොහැඟෙන්නට ඇති.

නුඹේ දෑතෙහි පැටලී, මේ භවය පුරා පමණක් නොව, මතු සසරත් එක්ව වසන්නට පෙරුම්දම් පිරූ මා, නුඹේ දෑතින් ගිලිහී ගිය අයුරු..

නුඹත් මාත් එක්ව ගිය මග තොට මතකයන්.. දිවිය පුරා පමණක් නොව සසර පුරාවටම ඒ මතකයන් මා අවදි කරාවි.

නුඹේ ඔය පපුතුරට තුරුළු වී, නුඹේ හද ගැහෙන රාවය අසා සිටි මට.., කවුරුන් කෙසේ කීවත්, තවකෙකු හද ගැහෙන රාවය, ඇසිය හැකිද..

මං ආදරෙයි නුඹට.. අදට.. හෙටට., පමණක් නොව, ගිණිය නොහැකි කාලයකට.

බලා සිටිමි මම, යළිත් නුඹ එනතුරා.. මගේම වන්නට.