Saturday, December 5, 2015

නීල නිලඹර [18 කොටස]

විහඟි තම මිතුරියගෙන් දෑස් සඟවාගත්තා. කේශිලාට වෙනසක් දැනුනේ නැහැ.

"විහඟි, උඹට පුළුවන්ද බං හිරූෂ අයියට කෝල් එකක් දාල බලන්න..? මට දැන් ඇතිවෙලා ඉන්නෙ විහඟි.
හිරූෂ අයියා හිතේ තියන් ඉන්නවා, ඒත් ඒක කියන්නෙ නැහැ.."
 "මං කෝල් කරන්නම්. ඔයාගෙ ෆෝන් එකෙන්ද? "
 "ම්.. නැහැ. අපි කමියුනිකේශන් එකකින් ගමු. මේකෙන් ගත්තට ආන්සර් කරන එකක් නැහැ"

පංතිය නිම වූ විගස කේශිලා තම මිතුරියත් සමග ගියේ ඇය නිතරම හිරූෂට දුරකථන ඇමතුම් ලබාගන්නා දුරකථන කුටියක් වෙතයි.

"මම නම්බර් එක ඩයල් කරල අයින් වෙන්නම්, ඔයා කතා කරල කියන්න"

කේශිලා හිරූෂ ගේ දුරකථන අංකය ඇතුළත් කර දුරකථන කුටියෙන් ඉවත්වූවා. දිගින් දිගටම දුරකථනය නාදවනු ඇසුනත් එයා අවසාන වූයේ කිසිදු ප්‍රතිචාරයක් නොදක්වාමයි.

"ආන්සර් කරන්නැහැනෙ කේශි. මොකද කරන්නේ? ආයිත් ට්‍රයි කරන්නද?"
 "ඕන නැහැ බං, ඌට එපානම් මම මොකටද මෙච්චර කෝල් කරන්නේ. මෙහෙන් මම කෝල් කරනවා කියල දන්න නිසයි කතා නොකර ඇත්තෙ"
 "හ්ම්... ආහ්, මට සමහර දවසට හිරූෂ අයියව හම්බවෙනවා. හවස ක්ලාස් ඉවරවෙලා යද්දි. මම ඒ වෙලාවක කතාකරන්නද මේ ගැන?"
"පුළුවන්නම් කතාකරන්න විහඟි. අනේමන්දා මට හිතාගන්න බැහැ"

හිරූෂ ඇතැම් විට තමා පිළිබඳ උනන්දු වග දැනුනත් විහඟිනී තම මිතුරිය වෙනුවෙන් ඔහු සමග කතාකිරීමට සිතාගත්තා.

සුපුරුදු ලෙසම පසුදින සවස පංතිය අවසන් වී ඇය පැමිණෙන විට හිරූෂ බස්නැවතුම්පළෙහි සිටින අයුරු විහඟිනී දුර සිටම දුටුවා. ඇයට ඉදිරියෙන් ගමන් කරමින් සිටියේ ඇයට ඉහළ පංතියෙහි පිරිමි ළමුන් පිරිසක්. මේ දිනවල ඔවුනට උසස් පෙළ විභාගය පැවැත්වෙමින් තිබුනා. ඔවුන්ව දුටු විගස විහඟිනී එදෙසට දෑස් යොමුකළේ නිම්සරද ඔවුන් අතර ඇතිදැයි විමසිලිමත් වෙමින්. කුමක්දෝ හේතුවකට පිටුපස හැරී බැලූ ගිහාන් විහඟිනීව දුටුවා. ගිහාන් තමන්ට ඉදිරියෙන් ගමන් කරමින් සිටි නිම්සරව ඇයට පෙන්වූයේ ඇය සොයන්නේ නිම්සරව බව දන්නා නිසයි.

"නිම්සර අයියෙ, කොහෙද මේ අද.."

ගිහාන්වද පසුකර  දිවගොස් පාර මාරුවෙමින් සිටි නිම්සරගේ අතෙහි එල්ලුණු ඇය විමසුවේ ඔහු සමගින් අනෙක් පසට යන අතරතුරදීයි.

"රිවිෂන් ක්ලාස් එකක්"

නිම්සර පැවසුවේ විහඟිනීගේ අත ඇයට දැනෙන්නට නොදැනෙන්නට මෙන් ඉවත් කරමින්.

"ආනේ ඇත්තද? කවදද අයියේ ආයිත් එක්සෑම්?"
"ලබන සඳුදා. ඔයාට මේ නුවාඩු දවස්වලත් හවස ක්ලාස් ද? මං හිතුවෙ මේ දවස්වල නැතිව ඇති කියලා"
"අනේ ඔව් අයියේ. ක්ලාසස් සේරම එකම දවසක තිබිලා අනිත් දවස් ටික නිවාඩු තිබුනනම්"

විහඟිනීගේ කතා තාලයට වෙනස්වන මුහුණ දෙස නිම්සර හැරී බැලුවා. එවිටයි ඔහු දුටුවේ, තමන් දෙස බලා සිටින හිරූෂ ව. නොදැකියා සේ ඔහු නැවතත් මිතුරිය වෙතට යොමුවූවා.

"මේ පාර නිවාඩුවට නුවර යන්නෙ නැත්ද නංගි"
"ම්... යන්න ඕන අයියේ, ඒත් මේ ක්ලාස් නිසයි යන්න විදිහක් නැත්තේ"

ආගිය තොරතුරු කතාකරමින් ගිය විහඟිනීට තම මිතුරියගේ පණිවිඩය අමතක වූවා. හිරූෂ බලා සිටියා, නිම්සර සමගින් විහඟිනී බස් රියට ගොඩවන අයුරු.






2 comments:

  1. Replies
    1. ඊළඟ කොටස මේ සතිය ඇතුළත පළ කරනවා. බොහෝවිට මුල් දින කිහිපය ඇතුළත පළකරන්නට හැකිවේවි.
      බොහොම ස්තූතියි අදහස් පළ කිරීමට සහ විහඟනාද සමග රැඳී සිටීම වෙනුවෙන්.

      Delete