Friday, January 3, 2014

මතකයෙන්..




දුරකථනය හරහා, මුහුණු පොත හරහා හෝ.. නුඹව හමුවීමෙන්.. පවසන්නට නොහැකි දෑ.

දන්නවාද නුඹ.., මා තවමත් නුඹට ආදරය කරනා වග. නොදැනෙනවා ඇති, නොහැඟෙනවා ඇති නුඹට, ඒ අතීතය මා තවමත් ජීවත්කරවනා වග. දෑඟිලි පටලා ආ ගිය මගතොට, සිනහසෙමින්-ආදරයෙන් පෙම්බස් මිමිණූ තැන් තවමත් එලෙසම වත්දී, අතීතය මියයන්නේ කෙසේද..?

අමතක කරලන්නට වෙරදරද්දී, සිහිනයෙන් හෝ පැමිණ මතකය අවදිකරලන නුඹ, සැබෑ ලොව මා හැරගිය අපූරුව. තරහක් නෑ. තවමත්.. ආපසු එනතුරා බලා හිඳිනවා හැර.

ආදරෙයි මම නුඹට. වචනයෙන් විස්තර කළ නොහැකි තරම්. දැන සිටියේ නැහැ මමත්, මෙතරම් නුඹට ආදරය වග. ඉතිං.. නුඹ කෙලෙස දැන සිටින්නද..

මතකද නුඹට.. නුඹේ  ඔය ගැඹුරු දෑස් දෙස මා බලා හුන් අයුරු. ඒ දෙනෙත් දෙස බලා, මා නුඹ ගැන සිතූ තරම්. මා නුඹේම වගට ඒ දෑසට ප්‍රතිඥා දුන් බව, නුඹ කිසිදිනෙක නොසිතන්නට ඇති. ඒ ගැඹුරු දෙනයනට නොහැඟෙන්නට ඇති.

නුඹේ දෑතෙහි පැටලී, මේ භවය පුරා පමණක් නොව, මතු සසරත් එක්ව වසන්නට පෙරුම්දම් පිරූ මා, නුඹේ දෑතින් ගිලිහී ගිය අයුරු..

නුඹත් මාත් එක්ව ගිය මග තොට මතකයන්.. දිවිය පුරා පමණක් නොව සසර පුරාවටම ඒ මතකයන් මා අවදි කරාවි.

නුඹේ ඔය පපුතුරට තුරුළු වී, නුඹේ හද ගැහෙන රාවය අසා සිටි මට.., කවුරුන් කෙසේ කීවත්, තවකෙකු හද ගැහෙන රාවය, ඇසිය හැකිද..

මං ආදරෙයි නුඹට.. අදට.. හෙටට., පමණක් නොව, ගිණිය නොහැකි කාලයකට.

බලා සිටිමි මම, යළිත් නුඹ එනතුරා.. මගේම වන්නට.