ඊටපස්සෙ දවසෙත් මම වැඩට ගියා. ඔන්න දැන් ටික ටික ඕෆ් වෙන වෙලාවත් ළංවෙනවා. කොහොමහරි ඉක්මනට පැනගන්න පුලුවන් උනොත් ඊයෙ ගිය බස් එකටම යන්න පුලුවන්.මැනාත් නැති නිසා සුජී අයියව ශේප් කරගෙන ඉක්මනින් ඕෆ් වෙලා පාරට ආවා. හරි, ඔන්න මම වෙනදට යන බස් එකේම ඒ ටික දුර ආවා. බස් එකත් අද වේගෙන් එනවද මන්දා.. ම්... සමහරවිට මට හිතෙන හැටි. ඉක්මනින්ම අනිත් හෝල්ට් එකට ආවා. ම්.. වේලාසන නෙමෙයි. වෙනද වෙලාවටමයි. හරි.. බලමුකෝ.. දැන් බස් එක එයිනේ. අදත් ඉඳීද......
වාව්.. බස් එක ආවා, ඔන්න දැන් මම බස් එකට නැගලා හතර වටේ බලනවා, ම්හ්... පේන්න නැහැ. ම්... කෝ මේ මැට්ටා..? අද ඇවිත් නත්ද? පිටිපස්සෙ සීට් වලත් නැහැ. ම්.. ඉස්සරහත් නැහැ වගේ. අනේ....! මොනා කරන්නද ඉතිං. මං දැන් මූණ දෙක කරන් උඩ බලාගෙන ඔහේ එනවා.
ඉස්සරහම සීට් එකේ ඉන්න කෙනෙක් [ඩ්‍රයිවර් සීට් එකට පිටිපස්සෙ සීට් එක] සුදු පාට ෂර්ට් එකක්, අත් දිගට ඇඳලා.. එයාගෙ අත ජනේලෙ ළඟ හිටපු කෙනාට පිටිපස්සෙන් දාලා ජනේලෙ ළඟින් අල්ලගත්තා. මේ ඩ්‍රයිවරය වංගු ගන්නෙ පුදුම විදිහට. කොහොමත් ඉතිං එහෙම අල්ලගත්තෙ නැත්නම් බිම තමයි. මම ආවෙ හිටගෙන, එයාලට සීට් දෙකක් විතර පිටිපස්සෙන්. මට ආයිත් ටික වෙලාවකින් ඒ පැත්ත බැලුනේ ඉබේටම වගේ. ම්.. මේ අර කොල්ලද..? මම තව ටිකක් හොඳට බැලුවා. මූණ පේන්නෙත් නැහැ හොඳට.. ඉස්සරහනේ. එතන ඉස්සරහ කණ්ණාඩියෙන් මූණ යන්තම් පෙනුනා. ඔව්. ඒ බෝයි තමයි. මොකද මේ සුදු ෂර්ට් එකක් ඇඳගෙන? මම ඉතින් අහක බලාගෙන ආවා. කතා කරන ඇස් උනාට එහෙම බලන්න හොඳ නැහැ නේ.
ටික වෙලාවකින් මටත් වාඩිවෙන්න පුළුවන් උනා. ඒ කෙළින්ම පිටිපස්සෙ තුන් වෙනි සීට් එකේ.ඔහ්.. මේ ඉස්සරහ සීට් එකේ ඉන්න කෙනා මට වඩා උසයිනෙ. දැන් ඉතින් කොහොමද කතා කරන ඇස් දිහා බලන්නෙ. ඒපාර එහෙන් මෙහෙන් බෙල්ල හරව හරව පිස්සි වගේ ට්‍රයි කළා, කෝ.. ඒත් ඒ මැට්ටගෙ මූණ පේන්නෙ නැහැ. ම්... අහ් ඔය ඉන්නෙ. බස් එක වංගු ගන්නකොට යන්තමට වගේ දැක්කා එක සැරයක්. කතා කරන අස් වලට මගේ ඇස් අහු වෙලාද? ඒ.. ඒ කියන්නෙ ඒ ඇස් මම දිහාද ඒ බලාගෙන හිටියෙ.. ඉවරයි. දැන් නම් ඉතිං. හොරෙන් බැලුවට අහුවෙන්න හිතුවෙ නැහැ නෙ. මොනා කරන්නද, නොදැක්ක ගානට අහක බලාගත්තා. ආයිත් ටික වෙලාවක් යද්දි මගේ ඇස් ඉබේටම වගේ ඒ දිහා බලනවා. මේ ඇස් දෙකත් හිත කියන දෙයක් අහන්නෙම නැහැ නෙ. ආයිත් කිහිප වතාවක්ම මගේ පිස්සු ඇස් දෙක අහු උනා. ඊගාවට මම කළේ ඇස් පියාගෙන එන එක. හරිනෙ දැන්.
බහින තැනත් ළං වෙලා. හරි, දැන් මේ කපටියට ඉස්සරවෙලා බහින්න දීල බලමු, කොහෙටද අතුරුදහන් වෙන්නෙ කියලා. වෙනද වගේ මම ඉස්සරවෙලා බැහැල යන්න උත්සාහ කළේ නැහැ. මට ඉස්සරහින් හිටපු කතාකරන ඇස් මට ඉස්සරවෙලාම දොර ළඟට යනකම් මම පොඩ්ඩක් පරක්කු උනා. ඔව්. ඔන්න දැන් මගේ වෙලාව. බෑග් එකත් එල්ලගෙන මමත් දොර ළඟට කිට්ටු උනා. කතා කරන ඇස් මට ඉස්සරහින්. බස් එක නැවැත්තුවා.
ආයිත් හැරිලා මගේ ඇස් දිහා කෙළින්ම බැලුව එකපාරටම. මම කොහෙත්ම නොහිතුව වෙලාවක. අනිත් අය බහින අතරෙ මේ කොල්ල මට බහින්න ඉඩ දුන්නා එයා බහින්නෙ නැතිව. මොකද මේ.. හිතන්න වෙලාවක් නැහැ, මම බස් එකෙන් බැස්සා. ඔව්. එයාත් මට පිටිපස්සෙන් බහිනවා.
බැහැපු ගමන්ම මම අයින් වෙලා සෙනග අඩු තැනකට ගියා. බලමු දැන් කොහෙද යන්නෙ කියලා. ම්... අදත් නැත්ද? මම පිටිපස්සෙන්ම බැස්සනේ, ඔව් ඔව්. මම හොඳටම දැක්කා. ඒත් දැන්.. අනේ අදත් මග ඇරුණද. පාරවල් තුන හතරටම ඔලුව දාල බැලුවත් පේනතෙක් මානෙක නැහැ. මම යන පාරෙන්ම වත් ගියාද? ඔව්, ඒකත් වෙන්න බැරි නැහැ. පුළුවන් තරම් වේගෙන් ආවත් මම ආව දුරට නම් ඒ ඇස් දෙක හිටියෙ නැහැ.
[03...]