Wednesday, December 9, 2015

නීල නිලඹර [19 කොටස]

විහඟිනී සිටියේ මිදුලෙහි, මල් පාත්තියක් සකසමින්. උඩුනුවර මහතා සහ මැතිණිය සුපුරුදු පරිදි පොළට ගිය දිනයක් එදින. සෝමා වත්ත පහළ. මිදුලෙහි සිටි විහඟිනීට ඇසුණා දුරකථනය නද දෙන අයුරු, දෑත් පිසදමමින් ඇය ගෙතුළට ගියේ, ඇමතන්නාට සිතෙන් බැනවදිමින්. ඇය දුරකථනය වෙත ළංවන විටම විසන්ධි උනා ඇමතුම.

"කවුද මංදා මිස්කෝල් ගහන්නේ"

මුමුණමින් ඇය සටහන්ව ඇති දුරකථන අංකය බැලුවා. නුපුරුදු අංකයක්.

"කාටහරි වැරදිලා වෙන්න ඇති. අපරාදෙ මං දුවගෙන ආවා"

ඇය නැවතත් මල් පාත්තිය වෙත ගියා, මෙවර ඇයට සුද්ද කරන්නට ඉතිරිව තිබුණේ කුඩා බිම් පෙදෙසක් පමණයි. නැවතත් දුරකථනය නාදවන හඬ.

" ඒ ගමන කවුද? අනේමංදා"

ඇයට නැවතත් යන්නට කම්මැලිකමක්.නාදය නතරවූවා. ඇය නැවතත් මල් පාත්තිය දෙසට හැරුණා. නැවතත් දුරකථනය නාදවන හඬ. එවරනම් ඇයට පෙරටත් වඩා කේන්තියි.

"හරි කරදරයක් උනානෙ මේක. කවුද මංදා මේ. බලමුකො, මං හොඳ වැඩක් කරන්නම්"

මිදුලෙහි කෙලවරක සිටි විහඟි වේගයෙන් දෑත් පිසදමමින් දිවගියා නිවස තුළට. පෙර සටහන්ව තිබූ අංකයමයි. දුරකථන අතළුව එසවුනේ මඩ තැවරුණු අතකින්මයි.

"හෙලෝ, කවුද මේ?"

ඇය විමසුවේ කේන්තිගත් ස්වරයෙන්.

"මට විහඟිනීට කතාකරන්න පුළුවන්ද?"

අනෙක් පසින් ඇසුණේ අවුරුදු දහ අටක - දහ නවයක ගැටවර හඬක්.

"ඔව්. විහඟිනී කතාකරන්නේ. මට දැනගන්න පුළුවන්ද කවුද මේ කියලා"

ඇයගේ හඬෙහි වෙනසක් වූයේ නම් නැහැ.

"විහඟි නංගි, මම හිරූෂ අයියා"
"ආහ්, හිරූෂ අයියා..?"
"කොහොමද විහඟි?"
"හොඳින් ඉන්නවා අයියේ, ඒකනෙමෙයි, මේ... ඔයාට කොහෙන්ද අපේ ගෙදර නම්බර් එක?"
"මං කොහොමහරි හොයාගත්තනේ"

කේන්තිගෙන සිටි විහඟිනියට ඔහුගේ මේ ඇමතුම නම් රිසිවූයේ නැහැ.

"ඔව් ඉතිං, ඔයා හොයාගෙන කියලනම් මම දන්නවා, මම ඇහුවෙ කොහෙන්ද කියලයි."

තරහ පාලනය කරගත් හඬින් විමසූවත් ඇයගේ දැඩි බව හිරූෂට දැනුණා. ඇයව අමනාප කරගැනීමට හෝ ඇය තමා පිළිබඳ අසුබවාදීව සිතනවාට ඔහුගේ කැමැත්තක් වූයේ නැහැ.

"කේශිලාගෙන් නංගි. කේශිලාගෙ ෆෝන් එක මං ළඟ තිබුනනේ. මං ඒ දවස්වල ගත්තෙ. දවසක් නිකමට වගේ නම්බර්ස් ටික බලාගෙන යද්දි ඔයාගෙ නම්බර් එක දැකලා සේව් කරගත්තා. හදිසියකට කේශිලාට පණිවිඩයක් හරි කියන්න පුළුවන්නේ කියලා"

ඔහු කියාගෙන ගියේ ඒ හැඟීම නිසාමයි.

"ම්.. කේශිලාට මොකක් හරි පණිවිඩයක් තියෙනවද අයියේ?"

ඇය විමසුවේ ඔහුගේ වදන් නිසාමත් නොවෙයි. ඇතැම්විට මිතුරියගේ දුරකථනය ඇගේ මව වත් ගෙන ඇත්දෝයි සිතමින්.

 "නැහැ විහඟි, මම මේ ඔයාට නිකමට කෝල් කළේ. "
"කොහොමද අයියේ, කේශිලා හොඳින් ඉන්නවද? පහු උනු දවස්වල ඔයා කෝල් කළෙත් නැහැ කිව්වා"
"ඒක හරි දැන් නංගි, මං එහෙනම් තියන්නම්. පස්සෙ වෙලාවක කතාකරන්නම්කෝ. බායි'
"ඕකේ. බායි"

විහඟි සමගින් කේශිලා පිළිබඳව කතාකිරීමට හිරූෂ රිසිවූයේ නැහැ. ඒ නිසාමයි ඔහු, ඒ මාතෘකාව ඇදී එත්දීම ඇමතුම විසන්ධි කරන්නට හදිසි වූයේ.
විහඟි හිරූෂගේ අංකය දුරකථන මතකයේ ගබඩාකර තැබුවා.


2 comments:

  1. දිග කතාවක්නේ... දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. ඔව් වැසි, ටිකක් දිග කතාවක්. දිගටම එයි කියලත් බලාපොරොත්තු වෙනවා

      Delete