Monday, November 30, 2015

නීල නිලඹර [17 කොටස]

ඇසළ, නේතක, මාමා සහ නැන්දා පිටත්ව ගියා. විහඟිනී නැවතත් සුපුරුදු පාසල් වැඩ අතර. මේ වනවිට ඇයට සතියේ දිනකිහිපයක සවස් වරුවේත් අමතර පංති යෙදී තිබුණා. යළිත් නිවසේ සිට පාසැල් යන නිසා එවන් දිනවල ඇය නිවසට පැමිණෙන විට අඳුරු වැටී තිබීම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුණා.
"විහඟි..."
අමතර පංතියක් නිම වී තනිවම එමින් සිටි ඇයට ඇසුණේ හිරූෂ ගේ හඬ. ඇය පිටුපස හැරී බැලුවා. විටින් විට මෙසේ හමුවන හිරූෂව ඇයට දැන් සාමාන්‍යයි.
සිනහ වූවා ඇය, ඔහු සමග.
"කොහොමද? කෝ අද යාළුවා?"
"කේශිලා අද ආවෙ නැහැ අයියේ. ඉස්කෝලෙ ආවෙත් නැහැ"
"ආ... ඒකද මේ තනියම.."
නොදෙඩූ ඇය සිනහ මුවින් යුතුව ගමන් කළා. හිරූෂත් ඇය සමගම පැමිණියා බස් නැවතුම්පළ වෙත. එපමණක් නොවෙයි, ඇය නැගි බස් රියටම ඔහුත් නැගුණා. එවිටනම් තිගැස්සුණා විහඟිනිය.
"ඔයා කොහෙද යන්නෙ අයියේ?"
ඇය විමසුවේ ඒ නිසාමයි.
"මං මගින් බහිනවා විහඟි, අයියලෑ ගෙදර යනවා. ඔයාත් යන නිසයි මේකටම නැග්ගෙ"
ඔහු ඇය අසළින්ම අසුන්ගත්තා. ඇය සමග දොඩමලු වෙමින් ගමන් කළ ඔහු තම නැවතුමෙන් බැසගියා.

 නිම්සර.. ඔහු සිටියේ බස් රියේ පසුපසම අසුනේ. විහඟිත් හිරූෂත් බස් රියට ගොඩවන අයුරුත්, කතාබස් කරමින්- සිනාසෙමින් සිටි අයුරුත් දුටු ඔහු බොහෝ ඕනෑකමින් බලාසිටියා. හිරූෂ මගින් බැසගියේ නිම්සරගේ සිතෙහි සසල බව මඳකට හෝ අවම කරමින්. 

හිරූෂ පිළිබඳ නිම්සර දැන සිටි දේ බොහෝමයි. ඒ කිසිවක් ඔහුට මෙතෙක් වැදගත් වූයේ නැහැ. නමුත් දැන් ඒ ඔහු විහඟි සමග.. මෙසේ...  විහඟි යනු නිම්සර කුඩාකල සිට දැන හඳුනාගෙන සිටි ඇයයි. තරමක කාලයකට ඔවුන්ගේ මිතුදම ඈත් වූවත් දැන් නැවතත් විහඟි නිම්සරගේ සුපුරුදු කුඩා මිතුරියම වග ඔහුට දැනී තිබුණා. ඇය තමන්ගේ කෙනෙක් වග,ඇයව රැකගත යුතු බව ඔහුට හැඟුනේ නවක සිසුනට රැග් කිරීමට ගොස් ඇයව හඳුනාගත් මොහොතේමයි.

නිම්සර විහඟිව දුටුවත් ඇය අසළට ගොස් කතාකිරීමට ඔහුට සිත්වූයේ නැහැ. ඔහු සිටි අසුනේම සිටියා. අමතර පංති පැවැත්වෙන ඇතැම් දිනවල දෙදෙනාටම එකම වේලාවට පංති නිමවන බැවින් නිම්සර ඇතැම් විටක විහඟිත් සමග එකම බසයෙන් යාමට පුරුදු වී සිටියා. තමාද බසයේ සිටිය හැකි බැව් අනුමාන කළ හැකිව තිබියදීත් ඇය මෙලෙස හිරූෂ සමග ගමන්කිරීම ඔහුගේ සිතට ඇතුළු කළේ පැහැදිය නොහැකි සිතිවිල්ලක්.

                                                    *              *             *               *

නිම්සර කුඩාකල සිටම උගෙනුමට දක්ෂයෙක්. එළඹෙන අගෝස්තු මස පැවැත්වෙන උසස් පෙළ විභාගය වෙනුවෙන් ඔහු කැපවුණා. විහඟිනීලාටද මේ දිනවල වාර විභාගය පැවැත්වෙමින් තිබුණා. එතරම් වෙහෙස නොවූවත් මෙවර පෙරටද වඩා හොඳ ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින් පංතියේ පළමු සිසුන් පස් දෙනා අතරට ඒමට ඇය සමත් වූවා.

මේ අගෝස්තු නිවාඩු සමයයි. විහඟිනී මේ දිනවල නිතර නිවසේ රැඳී සිටියා. සතියට දින කිහිපයක්ම ඇයට අමතර පංති යෙදී තිබුණා.

"විහඟි.."
ඒ කේශිලා, විහඟි ගේ හොඳම මිතුරිය. අද ඇය පංතියට පැමිණන විට තරමක් ප්‍රමාද වී තිබුණා. විහඟි සිටි පේළියේ ඒ වනවිට ඇයට වාඩිවෙන්නට ඉඩක් නොවූයෙන් ඇය සිටියේ පසුපස අසුනක. අතරමැද ලැබුණු විවේක කාලයේදී කේශිලා තම මිතුරිය හා කතාබහට වෙන්වූයේ ඇගේ සිතට වදදෙමින් තිබූ යමක් පිළිබඳව ඇය හා කතා කිරීම වෙනුවෙන්මයි. විහඟිටත් මේ දිනවල තම මිතුරිය තරමක් වෙනස් වී ඇති බව වැටහී තිබුණා.
"කියන්න කේශි.."
ඇය පැවසුවේ කෙටි ආහාරයක් ගන්නට කුඩා අවන්හලට ගොඩවැදී අසුන්ගත් පසුවයි.
"අනේමන්ද විහඟි, මේ දවස්වල හිරූෂ අයියා හරි වෙනස්. කෝල් කරන්නෙවත් නැහැ වෙනද වගේ"
කේශිලා හිරූෂව තේමා කරගත්තේ විහඟිනීව සසල කරවමින්.

{18 කොටසට....}

2 comments:

  1. ah... hmm.. ilaga kotasath dannooooooooo... :D :O :) (Y)

    ReplyDelete
    Replies
    1. හා, ඉක්මනටම ඊළඟ කොටස දාන්නම්

      Delete