Saturday, May 2, 2015

නීල නිලඹර [ 14 කොටස]



අප්‍රේල් මස මුල් සතියේ පැවැත්වුණු විභාගයෙන් පන්තියේ පළමු දසදෙනා අතරට එන්නට ඇය සමත් වූවාය. ඇයගේ ලකුණුද හොඳ මට්ටමක පැවතිණි.

වාර අවසාන නිවාඩුවට ඇය නිවස බලා ගිය අතර, සිංහල අලුත් අවුරුද්ද ද ළඟ එන බැවින් ගම්මානය අලුත් වී ඇතැයි ඇයට සිතිණි.

විහඟිනී පැමිණි සතුටින් නිවැසියන්ද ප්‍රබෝදමත් විය. පුංචි මණිකේද වලව්වට පැමිණි දින සවස අලුත් ඇඳුම් ගැනීමට යාම සඳහා ඔවුන් සූදානම් විය. ඒ සඳහා ඔවුන් මෙතෙක් කල් බලා සිටියේ ඇයගේ විභාග කටයුතුද පැවති හෙයිනි.

එදින සවසම පිටත් වූ ඔවුන් ගමනට සෝමාවද එකතු කර ගත්තේ, විහඟිනීට මවගෙන් මෙන්ම පියාගෙන්ද අඳුම් කට්ටල දෙකක් හිමිවිය.

වෙනදා මෙන්ම සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් අවුරුදු සැමරූ ඔවුන් පළමු දිනම ගමේ හිතවතුන්ගේ නිවෙස් වලට ගොස් හමාර කළේ, පසුදින උදෑසනින්ම නුවරට යෑමේ අදහසිනි. විහඟිනීට නම් එය විශේෂ ගමනක්ම විය.

*          *          *          *


උඩුනුවර වලව්වට ඇය පා තැබුවේ කලකින් නොදුටු සිය නෑ හිත මිතුරන් සමග විනෝදයෙන් පිරුණු දින කිහිපයක් ගතකිරීමේ බලාපොරොත්තු ගොනුකරගෙනයි. බප්පාගේ දියණියන් දෙදෙනා ඇය සමග බොහෝසෙයින් කුළුපග වූ නිසාම ඇයට එහි නැවතුම පහසු කරවන්නක් උනා. දිනක් පමණ ගීතනාත් මහතාගේ මහගෙදර උන් ඔවුන් එයින් පිටව ගියේ, විහඟිනීගේ අත්තම්මා සිටි වලව්ව වෙතයි. එය උත්පලා මැතිණියගේ උපන් නිවසද වූවා.

අත්තම්මා පමණක් නොවෙයි, කලක් විරසකව උන් සීයාත්, ආච්චිඅම්මාත් ඔවුන්ව පිළිගත්තේ මහත් සෙනෙහසින්.

මහ වලව්වේ මේ වනවිට පදිංචිව සිටියේ උත්පලා මැතිණියගේ එකම සොහොයුරා. ඔහුගේ පුතණුවන් දෙදෙනා නම් තරමක් ආඩම්බරකාරයින්. 

“වලව් පැළැන්තියෙ උෂ්ණෙ ගහලා වෙන්න ඇති.”

වැඩිමහල් පුතු, නේතකව විහඟිනීට හඳුන්වා දෙද්දී ඔහු යන්තම් කටකොණකට පමණක් සිනහවක් නගාගනු දුටු විහඟිනීට සිතුනේ, තමාද වලව්කාරියක් බව අමතක කරවමින්.

උසස් අ්‍යාපනය සඳහා විදෙස්ගතව සිටි නේතකට තම නෑණන්ඩිය දැකගැනීමේ අවස්ථාව උදාවූයේ අද. ඇයව දකිද්දී ඔහුට සිහිවුනේ ඔහු ඡායාරූපයකින් දැක ඇති රුවක්. මේ රුව ඒ රුවට බොහෝ සමානකම් කියන බව ඔහුට දැනුනා.

ආඩම්බරකාරයා නෑණන්ඩිය සමග මිතුරු නොවුනත් ඔහුගේ මලණුවන් නම් ඇය සමග බොහෝ හිතවත් වූවා. සමවයස් වූ ඇසළටත්, විහඟිටත් නිමාවක් නොමැතිව කතාබහ කරන්නට ඕනෑතරම් දේවල් තිබුණා. මහගෙදර විසල් වත්ත පුරා දුවපැන ඇවිදිමින් ඇසළද විහඟිනී සමග කෙළිලොල්ව කාලය ගතකළේ තරමක දඟකාරී ගතියක්ද ඔහුට තිබුණු බැවින්.

ආඩම්බරකාරයා මේ සෑම දේ දෙසම බලා සිටි මුත් ඔහු ඔවුන් හා එක් නොවුණා පමණක් නොවෙයි. ඔහු කතාබහ කළෙත් ඉතාම අඩුවෙන්.

“මොකද අනේ අර බකමූණා බුම්මගෙන ඉන්නේ?”

මිදුල කොණක වූ විසල් පේර ගසකට නැග පේර ගෙඩි කිහිපයක්ද දෑතේ පුරවමින් එමින් සිටි විහඟිනී ඇසළගෙන් එසේ ඇසුවේ තමන් දෙස බලා සිටිනා ඔහුගේ සොයුරාව පෙන්වමින්.

“ආ, මේ.. අපේ අයියද බකමූණා, එන්න එපා මෝඩි ඕවට විතරක්, හරි…”

“ඇත්තට ඇයි ඇසළ, අයියා අපි ආවට අකමැතිද?”

“පිස්සුද නංගෝ, ඔය බකමූණගෙ හැටි”

වහඟිනීට තරමක සිනහවක් පිටවුණා.

“අයියේ, ගන්න”

විහඟිනී දෑත්වලට පුරවන් සිටි පේර නේතකට දික්කරද්දී ඇසළ ගේ හපිටවුණා. ඔවුන් තිදෙනාම වාඩිවූයේ අඹගස යට තනා තිබුණු බංකු පේළියේ.

“බර්ත් මාර්ක් එකක්ද විහඟි?”

නේතක විමසුවේ විහඟිනීගේ උරහිසෙහි වූ ලපයක් දක්වමින්. ඇය හැඳ සිටි හීන් පටි සහිත ගවොම නිසා ඇගේ උරහිස් දෙකේම එකම සමාන අයුරින් පිහිටි උපන් ලප ද්විත්වය පෙනුණා.

“ඔව් අයියේ, උරහිස් දෙකේම එකවගේ බර්ත් මාර්ක් දෙකක් තියෙනවා.”

විහඟිනී කියන විට නේතක ඇගේ අනෙක් උරහිස දෙසත් බලා නලල රැළි කරගත්තා.

“ඒ… මාරයිනේ ඒක..”

ඇසළගෙන් පිටවුණේ එවදන්.

2 comments:

  1. මගෙ බ්ලොගේ තිබ්බ අවුරුදු දෙකක් විතර පරණ කමෙන්ට් එකක් දැකලා කවුද මේ අනු කියල බලන්න ආව!

    ReplyDelete
    Replies
    1. ම්... අවුරුදු දෙකක්, සෑහෙන කාලයක් නේ. කොහොමඋනත් ස්තූතියි

      Delete