Wednesday, April 16, 2014

නීල නිලඹර { 13 කොටස }


දහවල් ආහාරයෙන් පසු විහඟිනී තම නවාතැන්පළට යාමට සූදානම් වූයේ පසුදින පාසැල් යා යුතු වීමද නිසාවෙනි. සවස්වන්නට පෙර යාමට සිතූ ඇය දහවල් දෙක පමණ වත්දී දෙමවුපියන්ගෙන් සමුගත්තාය. නගරයට පැමිණි ඇය මිතුරියගේ නිවසට යෑමට බස්රියකට නැගුණාය. තරමක සෙනගක් වූයෙන් ඇයට අසුන්ගන්නට නම් නොහැකි විය. පිටුපස දොරට ඉදිරිපස  වූ අසුනක් අසළ සිටි ඇයගේ දෑස් මවිතයෙන් පුළුල් වූයේ බසය ගමන් අරඹනවාත් සමගම එයට නැගුණු හිරූෂගේ දසුනෙනි.
"විහඟි.., ක්ලාස් ද?"
ඇය අසළට පැමිණි හිරූෂ විමසීය.
"නැහැ අයියේ. කේශිලාට නම් ක්ලාස්. එයා මේ වෙලාවෙ ක්ලාස් එක ළඟ ඇති මං හිතන්නේ"
"ආ.. ඔයාට ක්ලාස් නැත්ද අද?"
ඔහු නැවතත් විමසුවේය. ඇය නැතැයි කියන්නට හිස සොළවා නිහඬ වූයේ සිතේ තරමක නොසන්සුන් බවක්ද පැවති හෙයිනි. විහඟිනී අසළින් මෑත් වූ හිරූෂ, පළමුවන නැවතුමේදීම බැසගත්තේය. ඔහු නැවතත් මිතුරිය හමුවෙන්නට යනු ඇතෙයි විහඟිනී සිතුවාය.
ඇය කේශිලාගේ නිවසට යනවිට කේශාල් මිදුලේ සිටම ඇය එන මග බලා සිටියේය.
"විහඟිනී.. "
"කවදද ආවෙ කේශාල්?"
ඇය මිදුලේම නතර වී කතාබහට මුලපිරුවාය.
"ඊයෙ. මං එද්දි ඔයා ගෙදර ගිහින් නෙ"
විහඟිනී මඳ සිනහවකින් යුතුව ඔහු දෙස බැලුවාය.
"නංගි නම් ක්ලාස් ගියා. අම්මත් ටවුන් ගියා. මං නැන්දලෑ ගෙදරට යන්න කියලා හැදුවේ"
"ආ කමක්නැහැ. ඔයා ගිහින් එන්න කේශාල්"
ඇය පැවසුවේ ගෙට ගොඩවෙමිනි.
"ඔයා ඉන්නෙ පිටිපස්සෙ නම් ඉස්සරහ දොර වහන්න විහඟි. මම ගිහින් එන්නම්"
තවත් මඳ වේලාවක් රැඳුනු කේශාල් එසේ පවසා නික්ම ගියේය.
නා අහවරව සැහැල්ලු ගවොමකට මාරු වූ විහඟිනී ඉදිරිපස දොර විවර කළේ, පොතක්ද රැගෙන ඉදිරිපස මිදුලෙහි වූ බංකුව වෙත ගියාය. ඇයට වාඩිවෙන්නටවත් වෙලාවක් නොතබාම දුරකථනය හඬනගන්නට වූයෙන් පොත බංකුව මත තැබූ ඇය, දුරකතනය වෙත ගියාය.
"හෙලෝ.."
"හෙලෝ, මට කේශාල්ට කතාකරන්න පුළුවන්ද"
"ආ.. කේශාල් නම් දැන් නැහැ නේ.තව විනාඩි දහයකින් විතර ගන්න පුළුවන්ද?"
"ඕකේ, තෑන්ක් යූ"
ඇමතුම විසනදි විය. හුරුපුරුදු හඬක් වැනි වූවත් ඇය ඒ පිළිබඳව දුර සිතන්නට නොගියාය.
මඳක් කියවන විට නැවතත් දුරකතනය නාදවිය. කරදරයක් සේ හැඟුනෙන් මඳවේලාවක් සිටිවනම සිටි ඇය නැවතත් එයට පිළිතුරු බඳින්නට සිතුවාය.
"හෙලෝ.."
"හෙලෝ, මේ විහඟිද?"
"ඔව්. කවුද මේ?"
"විහඟි, මම හිරූෂ. කේශාල් ගෙදර නැත්ද?"
"නැහැ"
"එතකොට ඔයාලගෙ ආන්ටි.."
ඔහු නැළවෙමින් කතාකරයි. විහඟිනීගේ සිතට තරහක්ද එක්විය.
"ආන්ටි නැහැ, මං කේශාල් ආවම කියන්නම් ඔයා කෝල් කළා කියලා"
එසේ පැවසූ ඇය දරකතන අතළුව තබා ගියේ නැවතත් නම් කිසිදු ඇමතුමකට පිළිතුරු නොදෙන්නට සිතමිනි.
මඳ වේලාවකින් පැමිණි කේශාල්ට, හිරූෂ දෙවරක්ම ඔහු විමසමින් ඇමතුම් ගත් බව ඇය කීවාය.
කේශාල්, විහඟිනී හිඳසිටි බංකුවේම කෙළවරක හිඳගත්තේඇයත් ඔහුත් පමණක් නිවසේ සිටියදී ඔහුට කිසිසේත්ම නිවස තුළ සිටිය නොහැකි බවද සිතමිණි.
"අපේ නංගි ඌත් එක්ක් එෆෙයා එකක් තියෙනවද විහඟි?"
ඔහු විමසුවේ විහඟිනී අත වූ පොත දෙසද බලමිනි.
"එහෙමමනැහැ කේශාල්"
ඇස් ලොකුකරගෙන ඔහුගේ මුහුණ දෙස බැලූ ඇය කීවාය.
"මහ එපා කරපු එකෙක්. අපේ එකීට කිව්වට අහන්නෑනෙ"
විහඟිනී නිහඬ වූවාය.
"නවල් එකක්ද"
ඔහු කතාව වෙනතකට හැරවූයේ, විහඟිනීගෙන් පොත ගන්නට අත ද යොමුකරමිනි.
"ඔව්"
කියූ ඈ, පොත ඔහු අත තැබුවාය.
"කියවලා මටත් දෙන්න "
අත්රින් පතර පිටුවක් දෙකක් කියවූ ඔහු එය නැවතත් විහඟිනීට දුන්නේය.
"ඔයාගෙ ක්ලාස් එක කොහොමද කේශාල්"
"හොඳයි ඉතිං. එපාවෙනව වෙලාවකට, නිවාඩු දෙන්නෙත් නෑ ඌ"
නෝක්කාඩු මුහුණක් මවාගෙන, දෑත් ඔලුවේ ගසාගෙන ඔහු කියවනා අයුරු දැකි විහඟිනී සිනහ වූවාය.
"කවදද ආයිත් යන්නේ?"
"හෙට හවස යනවා"
"කොච්චර කල් තියෙනවද තව?"
"තව මාස හතරක් විතරම තියෙනවනේ. අන්තිම ටිකේනම් වීක් එන්ඩ් වත් නිවාඩු ලැබෙන එකක් නැහැ"
කතාකරමින් උන් ඔවුන් දෙදෙනා නැගී සිටියේ කේශිලා හා සරලා එනු දැකීමෙනි.
"විහඟි, දවල්ද ආවේ?"
කේශිලා විහඟිනීගේ අතින් අල්ලාගෙන ඇයව තම කාමරයට කැඳවාගෙන ගියේ සෙස්සන්ට නොදැනෙන පරිදිය.
"මාර වැඩේනෙ බං, හවස හිරූෂ අයියත් එක්ක කතාකර කර එද්දි අම්මි ඉස්සරහටම හම්බ උනානෙ"
"ඉත්තිං.."
"අම්මිට සැක හිතුනද මංදා, ඌත් ශේප් එකේ අම්මිත් එක්ක කතාකළා"
කේශිලා විස්තර කළාය.

                                                        *            *            *           *



පාසැල් වැඩකටයුතු, අමතර පංති අතරේ සුපුරුදු පරිදි කාලය ගෙවී ගියේය. කේශාල්ද සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හිදී නිවසට පැමිණ ගියේය. විහඟිනීලාද තරමක් කාර්‍යබහුල වූයේ අප්‍රේල් මස මුල් සතියේ වාර විභාගය පැවැත්වෙන නිසාවෙනි. එළඹුණු මාර්තු මස මුළුමනින්ම පාහේ අධයාපන කටයුතු වලට වෙන් කරන්නට පෙළඹුණු විහඟිනී එම මස ගමටද නොගියාය. ඒ අඩුව පුරවන්නට ඇගේ මවත් පියාත් විහඟිනීගේ නවාතෙන්පළට පැමිණ ගියේ ඇගේ පාඩම් වැඩවලටද බාදාවක් නොවන අයුරෙනි.

[ 14 කොටසට..]