Saturday, March 1, 2014

නීල නිලඹර { 12 කොටස }

                
                  රෑ කෑමට සෝමා ඉඳිආප්ප සහ කිරට මාළු හොද්දක් සෑදුවේ විහඟිනීගේ රුචිකත්වය දන්නා නිසාමය. ඊට අමතරව ඇය කොච්චි තලා සැර පොල් සම්බලයක්ද සෑදුවාය. විහඟිනීද රෑ කෑමට හිඳගත්තී, තම ප්‍රියතම ආහාර තිබෙනු දැක සතුටු වූවාය.
"සරලා ආන්ටි කොච්චර හොඳට ඉව්වත් මේ වගේ රහ නෑ අම්මා"
කී ඇය වෙනදාටද වඩා ආහාර ගත්තාය. එහෙයින්මදෝ වෙනදාටද තරම් වේලාවක් අවදියෙන් සිටින්නටද ඇයට නොහැකි විණි.
පොතත් රැගෙන ඇඳට ගියද නිදිමත හරස් වූ බැවින්
ඇය පොත පසෙකින් තබා, තම සුපුරුදු සයනය මත නිදන්නට සූදානම් වූවාය. උදෑසන සිට වහින්නට තැතනූ අහස දැන් නොකඩවා වැසි වස්සවන්නට පටන්ගෙන තිබුනේ අකුණු සැර වලින් විටින් විට පළාතම එළිය කරවමිණි.
පසුදා උදෑසනම විහඟිනී අවදිවන විට ඒ මහා වර්ෂාව නතර වී තිබිණි. ගස්වැල් අතරින් පෙරී එන හිරු රැස් ඇය දුටුවේ විවර කළ ජනේලයෙනි. ගෙය මිදුල අතුගාමින් මවට හා සෝමාට උපකාර කළ ඇය උදෑසන ආහාරයද අවසන් වූ පසු පොතක්ද රැගෙන නිවසට මඳක් පහළින් වූ උණ පඳුර යටට ගියේ පාඩම් කිරීමේ අරමුණෙනි.
ගලායන දොළ පහරෙහි හඬද, මඳ සුළඟට සෙලවෙන උණ ගසෙහි සිලි සිලියද, තොරතෝංචියක් නැති කුරුළු කිචිබිචියද හැරුණු විට මිනිස් කටහඬක් නම් ඇයට බාධා කිරීමට නොවීය. ටික වේලාවක් පාඩම් කරන ඇය, ටික වේලාවක් පරිසරයට සවන්දුන්නාය. කුඩා කළ සිටම මේ දොළ පහර ඇයගේ ළබැඳි මිතුරෙකු මෙන් විය.
  පැයකට වැඩි කාලයක් ගෙවීයන විට සෝමාද පැමිණ ඇය අසළින් හිඳගත්තාය.
"අම්මලා ගියාද සෝම අම්මේ?"
ඇය ඇසුවේ අම්මාත් අප්පච්චීත් දෙදෙනම එකතුව පොළට යෑම සෑහෙන කලක සිට පුරුද්දක් වූ බැවිණි.
"ඔව් චූටි මැණිකෙ. දැන් පිටත්වුනා විතරයි ඔන්න"
පොත වසා තැබූ විහඟිනී සෝමාත් සමග කතාවට එක්වූවාය. ඔවුන් දෙදෙනා සෑහෙන වේලාවක් අහළ පහළ තොරතුරු කතාකරමින් උන්හ. ගමේ නොසිටි බැවින්, විහඟිනීටද තම යහළු යෙහෙළියන් ගැන සෝමාගෙන් දැනගැනීමට තොරතුරු රැසක් තිබිණි.
"මේ අවුරුද්දට ගමේ යනව කිව්වද සෝම අම්මේ?"
විහඟිනී ඇසුවේ ඔවුන්ගේ ගම් පළාත නුවර ප්‍රදේශය වූ බැවිනි.
"තාම මොනාත් කිව්වෙ නැහැ චූටි මැණිකෙ"
"සෝම අම්මා යනවද?"
"මැණිකෙලා ගියොත් මාත් ඒ ගමන්ම යන්නයි හිතුවේ චූටි මැණිකෙ"
විහඟිනී සිනහ සී සෝමා දෙඅස බැලුවාය. ඇයද ඒ පෙදෙසින්ම මෙහි ආ තැනැත්තියකි.
විහඟිනීගේ මවත් පියාත් ඇවැස්ස නෑනා සහ මස්සිනා වූවෝය. නමුත් නිවෙස් දෙකෙන්ම එම විවාහයට කැමැත්තක් නොතිබිණි. එහෙයින් තම තනි කැමැත්තට විවාහ වූ ඔවුන් මෙහි පදිංචියට ආවේ නිවසක් කුළියට ගෙනය. උඩුනුවර මැතිණියගේ ගුරු පත්වීමද මෙම පෙදෙසට සාදා ගත් ඔවුන් පසුව ටිකෙන් ටික මෙම නිවස සාදා ගත්තේ ස්ව උත්සාහයෙනි.
මෙම ඉඩමද තරමක් අඩු මිළකට මිළදී ගැන්මට ඔවුනට හැකිවූයේ ඉඩම් හිමියා උඩුනුවර මහතාගේ මිතුරෙකු වූ නිසාත්, ඔහුට රට රැකියාවක් ලැබී ඔහු එහි යෑමත් නිසාය.
උඩුනුවර මහතාගේත්, එම මැතිණියගේත් දෙමවුපියන් මෙහි යාම් ඊම් කරන්නට පටන්ගත්තේ විහඟිනී වැඩිවිය පත්වීමත් සමගිනි. තම අත්තම්මා, එනම් උඩුනුවර මහතාගේ මවගේ මව, නොඑසේ නම් උත්පලා මැතිණියගේ පියාගේ මව පාරම්පරිකව එම පෙළපතේ දැරිවියනට හිමිවන දියමන්තියක් එබ්බ වූ  මාලයක් ඇගේ ගෙළ පැළැන්දවූ අයුරු විහඟිනීට මතකය. උඩුනුවර මහතාගේ මවට හිමිව තිබූ එය අත්තම්මා විසින් ඇගේ ගෙළ පැළැන්දුවේ, උඩුනුවර මහතාගේ පවුලෙහි ඔහුට සොයුරියන් නොසිටි නිසාවෙනි. එමෙන්ම විහඟිනීගේ ආච්චිඅම්මා හෙවත් උඩුනුවර මහතාගේ මව ඒ වනවිට දියවැඩියා රෝගය වැළඳී තරමක අසාධය තත්වයේ පසුවූවාය. පසුකලෙක ඇය මියගියද අත්තම්මා නම් තවමත් නිරෝගීව ජීවත්වන බැව් විහඟිනී සිහිකළේ ඇය දැකීමේ සිතකින්ද යුතුවයි.