Monday, February 24, 2014

නීල නිලඹර [ 11 කොටස ]



සිකුරාදා පොහොය දිනය සහ සෙනසුරාදා පැවැත්වෙන එක් පංතියක ගුරුවරයෙක් අසනීපව හුන් බැවින් විහඟිනී ඒ සති අන්තයේ නිවසට යෑමට තීරණය කළාය. වෙනදා පරිදිම උදෑසන හයට පමණ අවදි වූ ඇය මුහුණ සෝදන්නට සිතා පිටුපස මිදුලෙහි වූ ජල කරාමය වෙත පැමිණියාය. වර්ෂාවකට ආසන්න බැව් කියා පෑ අහස ඒ උදෑසනද පරිසරයට එක්කර තිබුණේ මඳ අඳුරකි. එය නොසලකා හල ඇය, මුව දොවාගෙන පැමිණියේ, නිවසට ගෙනයෑම සඳහා පාසල් පොත් කිහිපයක්ද අත් බෑගයට දමාගත්තීය.
"ඔයා ඔය ගෙදර යන්නද විහඟි..? මම හිතුව වහින්න වගේ තියෙන නිසා නවතීවි කියලා"
 උදෑසන තේ කෝප්පයද රැගෙන පැමිණි කේශිලාගේ මව විහඟිනී සමග විසිත්ත කාමරයේ අසුන්ගත්තාය.
"ඔව් ආන්ටි. යන්නම බැරි උනානේ"
විහඟිනී පැවසුවේ මසකට ආසන්න කාලයක් ගත උවද පාසල් නිවාඩු දිනයන්හිදීද යෙදෙන උපකාරක පංති හේතුවෙන් ගමට යාමට නොහැකි වීමේ සංකා ගතියෙනි.
"කීයෙ බස් එකේද යන්නෙ දූ. මං උත්පලාට කෝල් එකක් දෙන්නම්"
සරලා, උත්පලා හා සංවාදයේ යෙදෙන අතරතුර, ඉක්මනින් සූදානම් වන්නට සිතූ විහඟිනී කළු පැහැගත් ජින්සයට රෝස පැහැ ටී ෂර්ටය තෝරාගත්තාය. එහි ඉදිරිපස පැන්ඩෙකුගේ විසල් පිංතූරයකි. උරහිසින් මඳක් පහළට වන්නට වූ කොණ්ඩය එක් මිටකට වන්නට බූලක් දමාගත් ඇය, අත් බෑගයද ගෙන පාවහන් පැළඳගෙනම තම කාමරයෙන් පිටතට පැමිණියාය.
"ලැහැස්තිද දුව? කාල යන්න. පාං තියෙනවා. මං හදලා දෙන්නම්"
"එපා ආන්ටි. බඩගිනි නැහැ දැන්ම"
ඇයගේ වදන් නොතැකූ සරලා මුළුතැන්ගෙයට ගොස් පාං පෙති දෙකක් සෑදුවේ විහඟිනීද ඇයගේ දියණියක මෙන්ම වූ බැවිණි.
ඒ අතරතුර කේශිලාගේ කාමරයට ගිය විහඟිනී, තම මිතුරිය තවමත් නිදාසිටිනා බව දැක ඇයව අවදි කරන්නට තැත් දැරුවාය.
"ඒයි කේශි.. නැගිටපං බං.."
"ම්....."
කේශිලා නිදිගැට කඩමින් දෑස් හැර බැලුවාය.
"උඹ උදේම යන්නද? ඔය ලෑස්තිවෙලත් ඉවරද?"
"ඔව්. මං දැන් යන්න"
"මදැයි.. මම හිතුවෙ උඹ යද්දි මමත් ටවුන් යන්න"
"වරෙන් එහෙනම් ලෑස්තිවෙලා. මම ඉන්නම්"
"අපෝ දැන බැහැ බං. වෙන දවසක යමු"
"හ්ම්. එහෙනම් මං යනවා කේශි"
"බුදු සරණයි"
කේශිලා ඇඳේ සිටම මිමිණුවාය.
විහඟිනී, කේශිලාගේ කාමරයෙන් පිටතට පැමිණෙන විටත් ඇගේ මව විහඟිනීගේ ආහාර සූදානම් කර අහවරව තිබිණි. විහඟිනී එය විගසින් ආහාරයට ගත්තේ සිය නිවසට යෑමට සිත තුළ තිබූ ආශාව මේ වනවිට තවදුරටත් දළුළමින් තිබූ බැවිණි.
"ගෙදරට ගිය ගමන් කෝල් එකක් දෙන්න දුව"
සරලා පැවසුවේ විහඟිනී ඇයගේ දෙපා නමදිනා අතරතුරදීයි.
"හොඳයි ආන්ටි. මම ගිහින් එන්නම්"
විහඟිනී පිටුපසින්ම මිදුලට බැසි සරලා ඇය බස් රියට නැගී නොපෙනී යනතුරුම මිදුලෙහි සිට බලාසිටියාය.
බස් නැවතුම්පළ වෙත පැමිණි විහඟිනී තම ගම බලා යන බස් රථයකට ගොඩවූයේ, උදෑසන බැවින් එහි එතරම් සෙනගක් නොවූයෙන් ජනේලය අසළ අසුනක් බලා එහි හිඳගත්තාය.
"හායි විහඟි"
බස් රියෙන් පිටත සිට ඇයට ඇමතූයේ හිරූෂයි. පෙරදිනක නිම්සර පැවසූ දෑද සිහිනගාගත් විහඟිනී ඔහු හා සිනහ සී බස්රිය තුළට අවධානය යොමුකළේ ඔහු හා පිළිසඳරකට එක්වීම වැළැක්වීමේ අරමුණෙනි.
"ගුඩ් මෝනින්ග්. කොහෙද මේ යන්නේ"
ඇයගේ උත්සාහය වැරදිණි. හිරූෂ බස්‍ රියේ පිටුපස දොරෙන් නැගී ඇය අසළට පැමිණ එසේ විමසුවේ ඔහුගේ තඹ පැහැ කළ කොණ්ඩය අතින් සකසමිනි.
"ගුඩ් මෝනින්ග්"
විහඟිනී එම පිළිතුර පමණක් ලබාදුන්නාය. ඇගේ සිතේ පැවති කලබලය නවතාලමින් බස් රියෙහි රියදුරු බසය ගමන් ඇරඹුවේය.
"යන්නම් විහඟි"
හිරූෂද බසයෙන් බැසගත්තේ විහඟිනීගේ හදවතට සැනසිල්ලක් එක් කරලමිනි.
ටිකෙන් ටික නගරය පසුකරමින් ගමන්කරන බස්‍ රිය තුළට සෙනගද එකා දෙන්නා බැගින් එකතු වන්නට විය. ජනේලය විවර කරගත් විහඟිනී ඉන් පිටතට දෑස් යොමුකළේ කඳු මුදුනට ඇදෙන බස් රියෙහි කවුළුවලින් එපිට සුන්දරත්වය රිසි සේ විඳගත්තාය. සිය නැවතුමෙන් බසගත් ඇය නිවසට යන්නට වූ කෙටි මග වෙත පිළිපන්නේ, පඩිපෙල් පේළිය බැසගෙන ගියේ දුවගෙන මෙනි. 





"අම්මා... අප්පච්චී..."
ඇය මග සිටම කෑ ගැසුවාය.
"චූටි මැණිකේ.."
ඉදිරිපස මිදුලෙහි උන් සෝමාවතී දිදුලන දෑසින් යුතුව විහඟිනීගේ මවට කතාකළේ ඇයගේ පැමිණීම දැනුම් දෙන්නටය.
"චූටි දුව.."
උත්පලා, තම දියණිය වැළඳගත්තාය. මවගේ දෑස් අග කඳුළු බිඳුවක්ද දිළිසෙනු විහඟිනී දුටුවාය.
"කෝ අම්මා, අප්පච්චී?"
විහඟිනී, සිය පියාව විමසුවේ ඔහු පෙනෙන්නට නොවූ බැවිනි.
"ගීතනාත්.. මේ දුව ඇවිත්"
විහඟිනී පියාගේ තුරුළට වූයේ උරහිසේ රැඳී තිබූ බෑගයද අතට ගනිමිනි.
උත්පලා මැතිණිය සරලාගේ නිවසට කතාකර විහඟිනී පැමිණි වග දැනුම් දුන්නාය.
"දුව, වොෂ් එකක් එහෙම දාගෙන එන්න දැන්"
මව පැවසුයේ ඇය තරමක වේලාවක් පියා අසළට වී සිටි බැවිනි.
විහඟිනී ගීතයක්ද මුමුණමින් පඩිපෙළ නගින්නට වූයේ, මව සහ පියා ඇය දෙස බලාසිටියේ සිනහ මුසු මුහුණිනි. සෝමාද විහඟිනීගේ බෑගය ගෙන ඇයට පිටුපසින් වූවාය.
"චූටි මැණිකේ, ළිඳට යනවද?"
විහඟිනී තම කාමරයෙහි ඇඳේ පෙරළෙද්දී ඇය පිටුපසින්ම කාමරට ඇතුළු වූ සෝමා විමසුවාය.
"බැහැ සෝම අම්මේ. හවස නාමු එතනින්"
"එහෙනම් චූටි මැණිකෙ පහළට එන්නකො. දානෙට ලැහැස්තිවෙන්නත් තියෙනවා. මම යන්නම්."
"දානයක්..?"
යන්නට සෑදූ සෝමාව නතරකරගත් විහඟිනී ප්‍රශ්නාර්ථයකින් ඇය දෙස බැලුවාය.
"මැණිකෙට අමතකද? අර අන්ධ විද්‍යාලෙට දෙන දානෙ. හාමු මහත්තයගෙ යාළුවෙකුත් එනව කියල තිබුණා අද"
"ආහ්...."
විහඟිනී සිතිවිල්ලෙහි සිටියදී, සෝමා පිටව ගියාය.
මඳ වේලාවකින් නාන කාමරයට වැදුණු විහඟිනී සිරුර දොවාගන්නට වූයේ සවස පහළ ළිඳට ගොස් නාගත යුතු බවද සිතමිනි.
ළා කොළ පැහැති පසුබිමෙහි රතු මල් වැටුණු ගවුමකින් සැරසුණු ඇය කෙස්වැටිය ලිහා පීරන්නට වූවාය. පහළ මාළය දෙසින් කිහිප දෙනෙකුගේ කටහඬවල් අසුණි. පියාගේ මිතුරා වන්නට ඇතැයි සිතූ විහඟිනී දැන් ඉතින් තමාටද යළි පහළට යන්නට වන බව සිහි කළාය.

[ 12 කොටසට.. ]



2 comments:

  1. කතාවේ ගලායාම ලස්සනයි.. එහෙනම් 12න් හමුවෙමු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේශ්.

      Delete