Friday, January 3, 2014

මතකයෙන්..




දුරකථනය හරහා, මුහුණු පොත හරහා හෝ.. නුඹව හමුවීමෙන්.. පවසන්නට නොහැකි දෑ.

දන්නවාද නුඹ.., මා තවමත් නුඹට ආදරය කරනා වග. නොදැනෙනවා ඇති, නොහැඟෙනවා ඇති නුඹට, ඒ අතීතය මා තවමත් ජීවත්කරවනා වග. දෑඟිලි පටලා ආ ගිය මගතොට, සිනහසෙමින්-ආදරයෙන් පෙම්බස් මිමිණූ තැන් තවමත් එලෙසම වත්දී, අතීතය මියයන්නේ කෙසේද..?

අමතක කරලන්නට වෙරදරද්දී, සිහිනයෙන් හෝ පැමිණ මතකය අවදිකරලන නුඹ, සැබෑ ලොව මා හැරගිය අපූරුව. තරහක් නෑ. තවමත්.. ආපසු එනතුරා බලා හිඳිනවා හැර.

ආදරෙයි මම නුඹට. වචනයෙන් විස්තර කළ නොහැකි තරම්. දැන සිටියේ නැහැ මමත්, මෙතරම් නුඹට ආදරය වග. ඉතිං.. නුඹ කෙලෙස දැන සිටින්නද..

මතකද නුඹට.. නුඹේ  ඔය ගැඹුරු දෑස් දෙස මා බලා හුන් අයුරු. ඒ දෙනෙත් දෙස බලා, මා නුඹ ගැන සිතූ තරම්. මා නුඹේම වගට ඒ දෑසට ප්‍රතිඥා දුන් බව, නුඹ කිසිදිනෙක නොසිතන්නට ඇති. ඒ ගැඹුරු දෙනයනට නොහැඟෙන්නට ඇති.

නුඹේ දෑතෙහි පැටලී, මේ භවය පුරා පමණක් නොව, මතු සසරත් එක්ව වසන්නට පෙරුම්දම් පිරූ මා, නුඹේ දෑතින් ගිලිහී ගිය අයුරු..

නුඹත් මාත් එක්ව ගිය මග තොට මතකයන්.. දිවිය පුරා පමණක් නොව සසර පුරාවටම ඒ මතකයන් මා අවදි කරාවි.

නුඹේ ඔය පපුතුරට තුරුළු වී, නුඹේ හද ගැහෙන රාවය අසා සිටි මට.., කවුරුන් කෙසේ කීවත්, තවකෙකු හද ගැහෙන රාවය, ඇසිය හැකිද..

මං ආදරෙයි නුඹට.. අදට.. හෙටට., පමණක් නොව, ගිණිය නොහැකි කාලයකට.

බලා සිටිමි මම, යළිත් නුඹ එනතුරා.. මගේම වන්නට.




10 comments:

  1. wow. Mage katin pitawenne mechcharai mekatanam. hmm duka hithenawane ohoma kiyaddi.

    ReplyDelete
    Replies
    1. දුක හිතෙනවද..? හ්ම්.. අපි බලමු අනිඨ් අය මොනවද හිතන්නේ කියලා

      Delete
  2. දාලා ගිය කෙනෙක් නම් එනකල් ඉන්න එපෝ.....

    මේක කියවන්නකෝ

    ReplyDelete
    Replies
    1. ඇයි උමා ඒ, එන එකක් නැත්ද?
      ම්.. මම ම දාපු කමෙන්ට් එක නේද? ඒත් සමහර වෙලාවට හිත රවට්ටගන්න හරි ආයිත් එයි කියලා හිතන්න වෙනවා

      Delete
  3. ඇත්තටම ආදරේ කරපු කෙනෙක්ට තමන්ගේ ආදරේ වෙනුවෙන් හැම දාම වුනත් බලගෙන ඉන්න පුළුවන්.. ඒ ආදරේ දවසක එනවාමයි.. මම විශ්වාස කරන ධර්මය නම් අන්න එක..

    ලස්සනයි කතාව..

    ReplyDelete
    Replies
    1. ඒ දවස වෙනකල් ඉන්න පුළුවන් වේවිද දිනේෂ්, අපි වටේට දවසින් දවස ගොඩනැගෙන මේ බාහිර හේතුත් එක්ක..?
      ස්තූතියි

      Delete
  4. නියමයි! දිගටම ලියන්න.. ජය වේවා..! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අශාන්. "නුඹට" නම් හුඟ කලක් ලියවේවි

      Delete