Wednesday, January 15, 2014

නීල නිලඹර { 07 කොටස }



පසුදින පොහොය දිනයක් වූයෙන් පාසැල් නිවාඩු දිනයක් වී තිබුණා පමණක් නොව, විහඟිනීට සහ කේශිලාට අමතර පංති යෙදී තිබුණේද නැත. එබැවින්, උඩුනුවර වලව්වේ වැඩිහිටියන්, තම දියණියව ඇගේ මිතුරියගේ නිවසට හැරලීම සඳහා එදින යොදාගත්හ.
විහඟිනීගේ ඇඳුම්, පොත්පත් ඇසිරීම සඳහා උත්පලා මැතිණියද ඇයට සහාය වන්නට වූයේ,
"අප්පච්චි කීයට විතරද අම්මා යනවා කිව්වේ?"
"අපි ටිකක් දවල්වෙන්න වගේ යමු දූ, එකට විතර"
"පොත් ගොඩක්නේ අම්මා"
"ඔයාගෙ පොත් නම් සේරම දාගන්න දුව මතක්කරලම, පාඩම් කරද්දි කරදරයක් වෙනව නැත්නම්"
"හරි අම්මා, ඒ සේරම දැම්මා."
ආගන්තුක නිවසක හැසිරෙන අයුරු පිළිබඳ තම දියණියට විශේෂයෙන් උපදෙසක් දීමට උත්පලා මැතිණියට නම් ඇවැසි වූයේ නැත. මන්දයත්, ඇය කිසිවෙකුට අවහිරයක් නොවන පරිදි, එමෙන්ම තම පවුල් පරිසරය පිලිබඳවද සිතමින් තම හැසිරීම් රටා හැඩගස්වා ගන්නියක වූ බැවිනි.
චූටි මැණිකේ නිවසින් දුරස් වීම, ඇයව හදාවඩා ගත් සෝමාවතියට නම් තරමක දුකක් එක්කර තිබිණි. මාපිය යුවළටද තම එකම දියණිය කෙටි කලකට හෝ දුරස්වීම දුකක් ගෙනදුන් නමුත් ඔවුන් දෙදෙනාම එය නොපෙන්වා කටයුතු කළේ දියණියගේම පහසුව සලකමිනි. දහවල නිවසින් පිටත්වූ පිරිස කේශිලාගේ නිවසට යනවිට දහවල් දෙක පමණ විය.
"කොයි ගේ ද අප්පච්චී.."
ත්‍රීවීලරයෙන් බසිමින්, විහඟිනී විමසුවේ පියා සහ මව පෙර දිනෙක එම නිවසට පැමිණ තිබූ හෙයිනි.
"ආහ්.. අර ගේද.."
මිදුලට බැස සිනාමුසුව සිටිනා තම මිතුරියත්, ඇයගේ මවත් දුටු විහඟිනී තම අලුත් නවාතැන හඳුනාගත්තාය.
"එන්න එන්න, අපි ඒත් බැලුවා පරක්කු මොකද කියලා"
විහඟිනීගේ මව ළබැඳිව ඔවුන්ව පිළිගත්තාය.
"වාඩිවෙන්න, දූ නම් ඉතින් අදමනේ ආවේ, පොඩි දුව, තාත්තිට කතාකරන්න"
සතුටු සාමීචියෙන් ගෙවීගිය මඳ වේලාවකට පසු ඔවුහු එහිදී දිවා ආහාරය ගත්හ.
"අපේ පුතත්, ලබන සතියෙ ඉඳන් කෝස් එකකට යනවනේ, එයාටත් එහේ නවතින්න වෙනවා"
"දුව කිව්වා අපිටත්, ඒක හොඳයි, ඉගෙනගන්න කාලෙ අපතෙ නොයවා"
විහඟිනීගේ ආගමනයත් සමගම වාගේ, කේශාල්ට නිවසින් පිටත්වන්නට සිදුව තිබූයේ ඔහු හදාරන්නට බලාපොරොත්තුවෙන් සිටි පාඨමාලාවක් ඉන්පසු සතියේ ආරම්භ වන්නට යෙදී තිබුණු හෙයිනි.
සවස තේ පානයෙන් අනතුරුව, විහඟිනීගේ දෙමවිපියන් පිටත්වූයේ, ඇයට තරමක දුකක් මෙන්ම පාළුවක්ද දනවමිනි. නමුත්, එය ඒ ඇසිල්ලේම දුරුකරලන්නට මිතුරිය පමණක් නොව, ඇගේ පවුලේ අයද ඇය අසළම විය.
"දූ ඔයා උදව්වෙන්න විහඟිගේ පොත් අස්කරගෙන එයාගෙ කාමරේ හදාගන්න"
"යමු විහඟි, එන්න, මේ කාමරේ හොඳයි නේද? මම ඉන්නෙත් එහා කාමරේනෙ"
විහඟිනීට තනි කාමරයක් ලැබී තිබිණි.
"මේ කාමරේ ඉස්සෙල්ල හිටියෙ අපේ අයියා, එයා අනිත් කාමරේට ගියා."
විහඟිනීට උදව් වන අතරතුර කේශිලා කියවන්නට වූවාය.
"ඔයාට තනියම නිදාගන්න බයද දූ"
කේශිලාගේ මවද ඔවුනට එක්වූවාය.
"නැහැ ආන්ටි"
"බයනම් ඔයා කේශිලාගෙ කාමෙරේට යන්න"
විහඟිනී සිනාමුසුව හිස වැනුවාය.
"ඔයා කන්නෙ නැති කෑම එහෙම තියෙනවද දූ?"
ඇය, තම දියණියට තරමටම විහඟිනීටද කාරුණික වූවාය.
"ම්.. එහෙමම නැහැ ආන්ටි"
"එහෙම මොනාහරි තියෙනවම් කියන්න දූ, එන්න, කන්න යමු අපි"
"යමු විහඟි"
"බෙදාගෙන කන්න දුව, මේ තියෙන්නේ ඔයාගෙ පිඟානයි කෝප්පෙයි"
කේශිලාගේ මව, සරලා විහඟිනීට වෙන්වූ දෑ පෙන්වා දුන්නාය.
"අද ඉඳන් ඉතින් ගෙදර කියලා හිතලා ඉන්න."
කෑම බෙදාගත් ඔවුන්, ඉදිරිපසට ගියේ, කේශාල්, පියා හා කතාබහ කරමින් රූපවාහිනියේ පුවත්ද බලමින් ආහාර ගෙන අවසන් කළේ, නැවතත් ටික වේලාවක් ටෙලිනාට්‍ය නරඹමින් සිටියෝය.
"හෙට ඉඳන් පාඩම් කරන්න, තාම දුවට මෙහේ හුරුත් නැහැ නේ"
කේශිලාගේ පියා වූ සමරසිංහ මහතාද විහඟිනීගේ ගතිපැවතුම් කෙරෙහි පැහැදී සිටියේය.

රාත්‍රිය එළඹෙද්දී විහඟිනී තම නව නිවහනේ නිදන්නට සූදානම් වූයේ හෙටින් ඇරඹෙනා නව කාලපරිච්චේදය පිළිබඳ සුභ සිහින දකිමිණි.

5 comments:

  1. ඕන්න අපිත් එහෙනම් මේ පැත්තට ඇවිත් ගියා.. :) අද කතාව ටිකක් වෙනස්

    ReplyDelete
    Replies
    1. ඔව්, ඉස්සරහට ටිකක් වෙනස්වේවි

      Delete
  2. දිගටම ලියන්න... සුබ පැතුම්!! පස්සේ මුල ඉඳලාම කතාව කියවන්න ඕනෙ..))

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ෂා, මුල ඉඳලම කියවගෙන එන්නකෝ

      Delete