Friday, December 27, 2013

නීල නිලඹර { 05 කොටස }





බසයෙන් බැසගත්තත් ඇයගේ වමත ඔහුගේ දකුණතට සිරවී තිබුණා.

“ඉන්න පොඩ්ඩක්. අරුන් ටික බහිනකම්”

නිම්සර ඔහුගේ මිතුරන් එනතෙක් රැඳී සිටියා. විහඟිනී පත්වුනේ මහත් අපහසුතාවයකට.

“උඹේ නංගි කෙනෙක්ද බං?”

බසයෙන් බැස ආ මිතුරෙකු නිම්සරගෙන් ඇසුවේ විහඟිනී දෙසත්, නිම්සරගේ දකුණතට සිර වී තිබුණු ඇයගේ වමත දෙසත් බලමින්.

“ඔව් බං”

නිම්සරගේ පිළිතුර එපමණයි.

විහඟනීට පාසලට යන්නට සිදුවූයේ නිම්සරත්, ඔහුගේ මිතුරන් වූ වැඩිමහල් සිසුන් කාණ්ඩයත් සමගින්.

“කවුරුහරි මොනාහරි කිව්වොත් එවලෙම ඇවිත් කියන්න විහඟි”

තම පංති කාමරය අසළින් නතර වූ නිම්සර විහඟිනී ඇයගේ පංතියට යනතෙක් බලාඋන්නා.


                                      *          *          *         *


“අතන ටැප් එකෙන් අත සෝදමු විහඟි, අනේ මටනම් බැහැ අරුන්ගෙ ක්ලාස් එක ළඟට යන්න”

උදය කාලච්චේද කිහිපය පුරාවටම ගුරුවරුන් රැදී සිටියෙන් නවක වදයෙන් බේරී සිටියත් කේශිලා සිටියේ තරමක බියකින්. එනිසාම ඇය, විවේකයේදී දෑත් සෝදන්නට තෝරාගත්තේ මදක් දුරින් පිහිටි කුඩා සිසුන් භාවිතා කරනා කරාමයක්.

“මේ වෙලාවෙවත් එයිද දන්නැහැ නේද විහඟි..”

“මන්ද බං, හිමිහිට කමු. එතකොට කාල ඉවරවෙනකම් කතාකරන්නෙ නැහැ නේ ආවත්”

“උඹ ගෙනාවද බං චොක්ලට් එකක්?”

“නැහැ කේශි”

කේශිලා බියමුසුව තම මිතුරිය දෙස බැලුවා.

“ඇවිත් ඉල්ලුවොත්..?”

“බලමු..”

විහඟිනී කල්පනාබරව විමසුවා.

“බස් එකේ යද්දි එපාවෙනව කේශි”

“ම්.. අපේ අම්මි කිව්වා ඔයාට අපේ ගෙදර එන්න කියලා”

එය පාසැල් පටන්ගන්නට පෙර සිටම කේශිලාගෙන් පැමිණි යෝජනාවක්. නමුත් විහඟිනීගේ දෙමවුපියන් එය එතරම් නොසිතූ නිසා ඇයට ඒ පිළිබදව යමක් තම මිතුරියට කිව නොහැකි වූවා.

“මං අහල කියන්නම් කේශි"

විවේක වේලාව අවසන් වන්නට විනාඩි පහක පමණ කෙටි වේලාවක් තිබියදී ඔවුන් ආහාර ගෙන අවසන් වූවා.

"විහඟිනී, ඔයාගෙ අයියා කෙනෙක් ඉන්නවද?"

තරමක් දුරට ඕපාදූප සොයන්නියක ලෙස පෙනුනු ගයානි ගෙන ආ එම පැනයෙන් විමතියට පත් වී කේශිලා තම මිතුරිය දෙස බැලුවේ දෑස් අයාගෙන.

"ඇයි ගයා එහෙම ඇහුවේ?"

"නෑ බං මේ අර අක්කලා කට්ටියක් කිව්වේ විහඟි ගෙ අයියා එහා ක්ලාස් එකේ කියලා"

"ආහ්, ඔව් ගයානි"

කෙටි පිළිතුරක් දුන් විහඟිනී ඔවුන්ගෙන් මිදී කේශිලාව පමණක් හුදෙකලා කරගත්තී, උදෑසන වූ සිදුවීම පැවසුවේ ඇය නිම්සරව නොදන්නා බැව් නොහඟවමින්.


                                                *            *          *          *


"දූලගෙ ඉස්කෝලෙමලු නේද නිම්සර පුතත්"

සවස් වරුවේ විහඟිනී පුවත්පතක් බලමින් සිටිනවා දුටු ඇගේ පියා, ඇය හා කතාවකට මුල පිරුවා.

"ආ ඔව් අප්පච්චි, අප්පචි දන්නවද ඒ අයියව? එයා තමයි මාව රැග් එකෙන් බේරගත්තේ"

"දුවට මතක නැතිව ඇති, පුංචි කාලෙ මෙහෙ ඇවිත් තියෙනවා.  බණ්ඩාර අන්කල්ල"

"ම්.. මට මතක නම් නැහැ අප්පච්චී"

උඩුනුවර මහතා පුවත්පතක් ගෙන පුටුවකට බරවූවා. පුවත්පතටම සිත යොමා සිටි විහඟිනී නිම්සර පිළිබඳව තවදුරටත් විමසීමට යොමුවූයේ නැහැ.


Monday, December 16, 2013

නීල නිලඹර { 04 කොටස }



“ගුඩ් මෝනින්ග් විහඟි”

බසයට නැගි විහඟිනීට නන්නාදුනන කටහකින් ඇසුණා. බස් රියේ වූ පිරිස
හේතුවෙන් පා පුවරුවේ පඩියක රැඳී හුන් ඇය, හිස හරවා හ දෙස බැලුවා. නිම්සර..

“ආහ්.. ගුඩ් මෝනින්ග්”

සිතට නැගුණු පුදුමය හමුවේ ඇය වදන් කිහිපයක් ගලපා ගත්තා. නිම්සරගේ නිවෙස මෙම පෙදෙසෙහිදැයි විහඟිනී නම් දැන සිටියේම නැහැ.

බස් රියෙහි වූ සෙනග හේතුවෙන් මහත් අපහසුවෙන් මෙන් සිටි විහඟිනී දෙස බැලූ නිම්සර, ඒ වන විටද ඇය රැඳී සිටි පා පුවරු පඩියට පහළ පඩියට වූවා.

“හැමදාම මේ බස් එකේද විහඟි යන්නේ?”

“ඔ.. ඔව් අයියේ”

පෙරදා අන් සිසුන්ට ඉතා දරදඬුව නවක වදය ක්‍රියාත්මක කළ ඔහුගේ මේ තරමක් දුරට වූ ළෙන්ගතු විමසීම් ඇයව පුදුම කර තිබුණා.

“ඕහ්.. සොරි අයියේ”

“ඉට්ස් ඕකේ නංගා”

වරක් වංගුවක් ගැනීමේදී විහඟිනී නිම්සර දෙසට තල්ලු වූවා. ඈයව රැඳුනේ බස්රියෙහි දොරටුව අල්ලාගෙන හුන් නිම්සරගේ ශක්තිමත් දෑත් මත.

“හයියෙන් අල්ලගන්න. දැන් හැමදාම මේකෙද යන්න ඉන්නේ?”

“ඔව් අයියේ, වෙන බස් එකක් නැහැ නේ. ස්කූල් වෑන් එකක්වත් තිබුනනම්”

විහඟිනීත් දොඩමළු වූවා.

“ඊයෙ කවුද රැග් කළේ?”

“ම්.. ඔයාලට කළින් අක්කලා කට්ටියක් ආවා”

“අක්කලා..? කව්ද කියල දන්නවද?”

“අර නදීශා කියල ඉන්නෙ එයාල එහෙම”

“ආහ්..”

බස් රියෙන් බසිද්දී විහඟිනීත් නිම්සරත් අතර අපූරු මිතුදමක් ගොඩනැගී තිබුණා. තම පාසල වෙත යාමට නම් ඔවුනට තවත් බසයක යා යුතුව තිබුණා.

“එන්න, මේ බස් එකේ යමු”

ඉදිරියට එන බසය දුටු නිම්සර විහඟිනීව ඊට ගොඩකරවූයේ වැඩිමල් සොයුරෙක් ලෙසින්. බසයට නැගුණු විහඟිනී එකිනෙක අසුන් පසුකරනමින් මඳක් ඉදිරියට යන්නට වූවා.

“ගුඩ් මෝනින්ග් මචං”

මිතුරෙකුගේ ඇමතුමට නිම්සර පිටුපස පෙළ හා එක්වූවා. ඔවුන් දෙස හැරී බැලූ විහඟිනී ඔහුව පෙනෙන මානයෙන් නතර වූවා. බසය මඳ දුරක් ගොස්, තවත් එක් නැවතුමක නතර වූවා. එතැනින් බසයට ගොඩවූවේ නදීශා ඇතුළු ඇගේ මිතුරියන්. ඔවුන් පැමිණ විහඟිනීට පිටුපා අනෙක් පසින් නතර වූවා.

“අදනම් මොනාහරි කන්න දෙයක් ලැබෙයි නේද බං?”

ඔවුන්ගෙන් එකියක් සිය කටහඅවදිකළා.

“ආහ්., මම නම් එකෙක්ට චොක්ලට් එකක් ගේන්න කිව්වා බං, බලමු”

විහඟිනීට නදීශාගේ කටහවෙන්කොට හඳුනාගැනීම අපහසුවූයේ නැහැ. ඇයට නිතැනින්ම් නිම්සර දෙස බැලුනා. ඔහු ඒ වනවිටත් ඇය දෙසට එමින් සිටියා.

“චූටි මැණිකෙලා නම් ඕව අහයිද මංදා”

තවත් එකියක් කියන විටත් නිම්සර විහඟිනී සිටි දෙසින් ඇයට ළං වී අවසන්.

“ඒ කුමාරිහාමිකං ඉස්කෝලෙට අදාළ නැහැ බං”

ඒ නදීශා.

එක්වරම විහඟිනී දෙස එක්වරක් බැලූ නිම්සර, ඒ වේගයෙන්ම නදීශා දෙසට හැරුණා.

“කා ගැනද නදීශා කතාකරන්නේ?”

ඔහුගේ කෝපය පාලනය කළ කටහවිහඟිනීට පමණක් නොවෙයි මඳක් දුරින් උන් සිසුනට පවා ඇසුණා.

“ආහ්.. න්.. නිම්සර..”

නදීශා අපහසුවෙන් වදන් ගළපන්නට උත්සාහ කළා.

“ඔයා කොහෙන්ද නැග්ගෙ නිම්සර, අපි දැක්කෙවත් නැහැ නේ”

නදීශාගේ යෙහෙළියක් ඇයව ඒ අපහසුවෙන් මුදවාගත්තා. නමුත් ඔහු නොවෙයි එයට කන්දුන්නේ.

“කා ගැනද දැන් කතා කළේ නදීශා?”

“මේ.. අපේ යාළුවෙක් ගැන නිම්සර, ඇයි?”

එවර නදීශාගේ තවත් යෙහෙළියක්.

“යාළුවෙක්..?”

බරකොට ඇසූ නිම්සර, පාසල අසළ බසය නැවැත්වූයෙන් අනෙක් පසට හැරී,

“එන්න නංගි”

විහඟිනීගේ අතකින්ද අල්ලා ගනිමින් බසයෙන් බැසගත්තේ සමවයස් සිසුන්ගේ දෑස් නළළෙහි රඳවමින්.

Thursday, December 5, 2013

නීල නිලඹර { 03 කොටස }



“අර අක්කලා කට්ටිය ඔයා දිහා බලන්නෙ විහඟි”

විහඟිනීගේ නව මිතුරියක වූ ගයානි පැවසුවාය. ඔවුන් දෙස බැලූවද විහඟිනී, එය එතරම් ගනණකට නොගත්තීය.

“විහා, ඔයාට කතාකරනවා”

මිතුරියගේ හඬින් යළිත් එදෙස බැලූ ඇයට වැඩිමල් සිසුවියක් අත වැනුවාය. මිතුරියන් තැතිගත් දෑසින් බලා සිටියදී පංති කාමරයේ දොරටුව අභියසින් ඈත් වූ ඇගේ සිතෙහි නම් කිසිදු බියක් නොවුණි. වැඩිමල් සිසුවියන්ගේ මුහුණු දෙස පිළිවෙලින් බැලූ ඈ සිනහවක් නෝ නොඋපදවාගෙනම ඔවුන් එදිරිපිට වූවාය.

“නම මොකක්ද?”

“විහඟිනී. විහඟිනී හංසනා උඩුනුවර”

සිසුවියකගේ පැනයකට ඇගේ මුහුණ දෙස බලාගෙනම පිළිතුරු දුන් ඈ යළිදු වතාවක් ඔවුන් සියළුදෙනා දෙසම බැලුවාය. එතැන වූයේ සත් දෙනෙකි.

“කොහේද ඉස්කෝලෙ ගියේ?”

තම මිතුරියගේ ඉඟිය නොදැකි කළින් විමසූ යුවතිය නැවතත් විමසන්නට වූවාය. විහඟිනී, ඇගේ පාසලේ නම පැවසුවාය.

“නදීශා, ගමගේ සර් මේ පැත්තට එනවා”

“ඔයා යන්න ක්ලාස් එකට. හෙට එනකොට චොක්ලට් එකක් ගේන්න”

එසේ පැවසූ ඔවුන් ඇයව මුදාහැර යන්නට ගියෝය.

විවෙක කාලයෙන් පසුව, පාසල නිමවන්නට ආසන්නව තිබූ කාලපරිච්චේදයකදී යළිත් විහඟිනීලාගේ පංතියෙහි ගුරුවරයෙකු නොමැති විය. සිසු සිසුවියන් කිහිප දෙනෙකුට වැඩිමල් සිසුන්ගේ අණ පරිදි පංති කාමරයෙන් පිටවන්නට සිදුවිය. ඔවුන් අතරට කේශිලාද අයත් විය.

“ආ කට්ටිය මේ මල එක එක්කෙනාගෙ ඔලුවෙ ගහගෙන අනික් අයට පාස් කරන්න”

වැඩිමල් සිසුවෙකු සමග පැමිණි විහඟිනීලාගේ සමවයස්, එම පාසලේ පැරණි සිසුන් කිහිප දෙනෙක් ඔවුන් ඉදිරිපිට අසුන්ගත්තෝය. ඔවුන් කී පරිදි ඇතැමුන්ට ගීත ගයන්නට සිදුවිය. විහඟිනීගේ වාරයද පැමිණුණි.

“ඔයාගෙ නම මොකක්ද්?

පැමිණ සිටි දහතුන වසර සිසුවා විහඟිනී දෙසට හැරුණේය.

“විහඟිනී”

ඇය කෙටිව පිළිතුරු සැපයුවාය.

විහඟිනී…. ම්.. ඉගිලෙන්න පුළුවන්ද”

පිළිතුරක් බලාපොරොත්තු නොවූ ඔහු තෙවන පැනයටද යොමුවුණේය. පිරිමි ළමුන්ගේ විසුළු නැගෙන්නට විය.

“උඩුනුවර ..?

අඩමානයට මෙන් ඇසීය.

“ඔව්”

ඔහු බැරෑරුම් මුහුණකින් ඇය දෙස බැලුවේ, ඇයව පසෙකට කර අනෙකාට ගීයක් ගයන්නට කීවේය.

“කව්ද බං?

එතැනට පැමිණි ඔහුගේ මිතුරෙකු පහත් ඬින් විමසුවත් තියුණු ඇහුම්කන්දීමකින් හුන් විහඟිනීගෙන් එය සඟවන්නට නොහැකි විය.

“උඩුනුවර වලව්වේ”

මිතුරාටද වඩා පහත් හඬින් නිම්සර කියනුද ඇයට ඇසිණි.


                                                   *         *        *        *



“මහන්සිද චූටි මැණිකේ? බස් එකේ සෙනගද? රැග් කළාද අපෙ මැණිකෙටත්?

“සෙනග සෝම අම්මේ, හරි මහන්සියි”

පාවහන් ගලවා අතට ගත් වලව්වේ චූටි මණිකේ පඩිපෙළ නගින්නට වූවාය.

“අම්ම - අප්පච්චි කෝ සෝමඅම්මේ?

ඇය පඩිපෙළ නගිමින්ම ඇසුවේ ඔවුන් පෙනෙන්නට නොසිටි නිසාවෙනි.

“පහළ ළිඳට ගියා චූටි මැණිකේ. චූටි මැණිකෙත් නාගෙන බත් කන්ට එන්ට”

වලව්ව තුළ සියළු පහසුකම් වූ නමුත් සොබාදහමට ඇලුම් කළ උඩුනුවර හාමුත්, මැණිකෙත් බොහෝවිට පාසැල් නිම වී ආපසු පහළ වූ ළිඳට නාන්නට යෑමට හුරු වී සිටියහ. ව්හඟිනීද ඊට කැමැත්තක් දැක් වූ නමුත් ගතේ විඩාවත් සිතේ වූ නොසන්සුන්බවත් හේතුවෙන් මෙදින නම් ඇය වෙත නොගියාය.