Sunday, October 27, 2013

පිවිසුම

මගේ පළමු ලිපිය, හිතට ආපු හැඟීම් එහෙමම අකුරු කළා මං. ඒක මං පළමුවෙන්ම මේ වෙනුවෙන් ලියපු ලිපිය නිසා එලෙසින්ම පළකරන්නට යෙදුණා. අවස්ථාවක් හිමිවුනේ නැහැ එයින්, බ්ලොග්කරණයට මගේ පිවිසීම ගැන යමක් කියන්නට.

"හිස් අහස" මං කියවපු වෙනස්ම, රසවත්ම ලිපි වලින් පිරුණු බ්ලොග් අඩවියක්. ගමේකම, අපේකම පිරුණු තැනක්. ඔස්සේ තමයි මගේ මේ ආගමනයත්.

ඇරඹුම සැබෑම ඇරඹුමක් වන්නට ගතවුණා තරමක කාලයක්. ජීවන ගමනේ අනේකවිධ හැලහැප්පීම් නිසා. මාස ගණණාවක් මා දුටු සිහිනය සැබෑ කරගත්තා මීට දින කිහිපයකට මත්තෙන්.

"විහඟ නාද" මගේ බ්ලොග් අඩවිය. මේ තමයි මගේ සිහිනය. මං බලාපොරොත්තු උණු ඇරඹුම.

තොරතෝංචියක් නැතිව කුරුළු කිචිබිචියක් ඇහෙනවා මේ දවස්වල. කිචිබිචියක් කිව්වට කිචිබිචියක්මත් නෙමෙයි, මහා ලොකු ඝෝෂාවක්. පහූණු දවස්ටිකේ එකදිගටම වැහැපු වැස්ස නැවතිලා, මේ දින කිහිපයේම ඉර එළිය අඩුවක් නැති එකට එයාලට සතුටු ඇති. වගේම අපේ නිවහන පුංචි දොළ පාරක් අයිනේ, මේකත් මේ නිතරම ඇහෙන කංකරච්චලේට හේතුවක් වෙන්නැති. බ්ලොග් අඩවියට නමක් හිතද්දිත් තොරතෝංචියක් නැති මේ කචකචේ විදිහටම. මේක තමයි හේතුව, මේ අඩවිය "විහඟ නාද" නම් ලබන්න.

අවුරුදු 22 කාලයකට මගේ ජීවිතේට එකතුවුණු අත්දැකීම්, දැනුම, මගේ පුංචි නිර්මාණ බ්ලොග් අවකාශයේ ඔයාලත් එක්ක බෙදාගන්නයි මගේ බලාපොරොත්තුව.

බ්ලොගයක් ගැන අදහසක් මට මුලින්ම දීපු "හිස් අහසේ" "සඳරු" අයියට හුඟාක් පින්, හොඳ දේකට මාව යොමු කළාට.

ඉතින්... විහඟ නාද අහන්න ඔයාලවත් ආදරයෙන් එකතුකරගන්නවා මගේ පුංචි නිවහනට.

Saturday, October 26, 2013

එකෝමත් එක දවසක

හිත කොහේදෝ දුරක පාවෙලා ගිහින්. කොහේදෝ කිව්වට මං නොදන්නා දුරක නම් නොවෙයි. අවුරුදු තුනක් පරණ මගේ ආදර කතාව ළඟ. මීට මාස තුනකට කළින් සදාකාලිකව නැවතීමේ තිත තැබුණු මගේ ආදරේ ළඟ.

මේ දවස් ටිකේම හිත එහේ දුවනවා. ලියන්න පටන්ගත්තු කතාව අතරමග නැවතිලා. මං නැවතත් ලියන්න උත්සාහ කළත් ඒ අර සුපුරුදු රිද්මය නෙවෙයි. ඉතින් ඒ ලියවිල්ල තාවකාලිකව නතරකරපු මම, ඒ ලියපු පොතයි, පෑනයි අරගෙන මිදුලට ආවා. පෑන් කොපුවෙන් පෑන පොතට අමුණගත්තු මම ඒකත් කටින් එල්ලගෙන මිදුලෙ අයිනක තිබුණු ඇඹුල්පේර ගහට නැගුණා.

හප්පේ... ගහකට නැග්ගෙ කොච්චර කාලෙකින්ද, කකුල තියන්නත් බයයි වගේ. පුංචි සන්දියේ නම් මං අඩුවක් නැතිවම පේර ගස්වල බඩගෑවා. බයෙන් බයෙන් උඩට නැගගත්තා කියමුකො. ඉස්සර අපි ගස් බඩගාන කාලෙ මේ ගහේ අතු දෙකක් මැද්දෙ වාඩිවෙන්න පුළුවන් විදිහට පොඩි ලෑලි කෑල්ලක් දාල තිබුණා. ඒක දැම්මෙ මල්ලි. අන්තිමේදි ඒ ලෑලි කෑල්ලත් මේ ගහේම කොටසක් වගේ උණා. හැබැයි මීට අවුරුද්දකට විතර කළින් මට ඇඹුල්පේර ටිකක් කඩාගන්න ගහට නැගුණු දවසක ඒ ලෑලි කෑල්ලට අඩිය තියලා ඒකෙන් කෑල්ලක් කඩාගෙන ගියා. අත් දෙකෙන්ම ගහේ අතු දෙකක් අල්ලගෙන උන්නු හින්දා මම යන්තම් ගහ උඩ රැඳුණා.
මේ ලියවිල්ල ලිව්වට හිත හදාගන්න බැරි විත්තිය මම දන්නවා. අඩුම තරමේ හිත රවට්ටගන්න හරි පුළුවන් වෙයිනේ. කොහොම උනත් මං මේ ලියවිල්ලට පණ පොවන්න හිතුවේ මගේම කියලා බ්ලොග් එකක් හදාගන්න කියලා දැන් දවස් කිහිපෙක ඉඳලා මගේ හිත මට කොඳුරන නිසා. ඒත් ඉතින් ඒක සාර්ථක වෙයිද මංදා. මගේ පණ ට [මගේ ලැප්ටොප් රාජයාට] හෙට වෙද්දි මං රු.8450 ක් ගෙවන්න ඕනි. දැන්නම් මගේ අතේ පිච්චියක්වත් නෑ.ඔන්න ඔය කාරණාවත් මගේ හිතේ මේ කලබලේට හේතුවක්.

ඇයි දෙයියනේ මගේ පණ නැතුව මං ජීවත්වෙන්නෙ කොහොමද..? මං මගේ හුස්ම ටික කිව්වේ මට අර අහිමිවෙච්ච ආදරේට. "හුස්ම ටික නැතිව ඇති පණ මොකක්ද" කියවන ඔයාල එහෙමත් හිතාවි. කොහොම උනත් හුස්ම ටික නැති උනාට පස්සෙ මාව ජීවත් කෙරෙව්වෙ මගේ ඔය පණ තමා. එයත් නොවුනනම් අද මම.....?

මේ ලිපිය මගේ බ්ලොග් අඩවියේ පළමු හෝ දෙවන ලියවිල්ල වේවි. කොහොම උනත් මේ ලියවිල්ල මගේ හිත හදුවෙනම් නැහැ. හැමවෙලාවෙම මගේ අතීත මතකයට හිත දුවගෙන ගියා මිසක්. ඒත් මං මගේ අතින් ලියවුණු මේ පුංචි ලියවිල්ලට ආදරෙයි.